Spread the love

නිමල් රාජපක්ෂ-


නුවරඑළිය දිස්ත්‍රික්කයේ පරිසර සංරක්ෂණය, තිරසාර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම අරමුණු කරගත් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (28) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.


දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, නුවරඑළිය නගරාධිපතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූරවීරආච්චි මහතා ඇතුළු මහජන නියෝජිතයන් මෙන්ම පරිසර අමාත්‍යාංශ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා, දිස්ත්‍රික් ලේකම්තුමිය, අතිරේක ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


මෙහි දී නුවරඑළිය සංචාරක කලාපයේ පිහිටි හෝටල් සහ සෙසු ව්‍යාපාරික ස්ථාන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීම නිසි ක්‍රමවේදයකට අනුව කඩිනම් කිරීම මෙන් ම එමෙන්ම අපජලය විධිමත්ව බැහැර කිරීම සහතික කරමින් ජල මූලාශ්‍ර දූෂණය වැළැක්වීමට අඛණ්ඩ පරීක්ෂණ පැවැත්වීමට උපදෙස් ලබා දෙන ලදී.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජල මූලාශ්‍ර සහ ජල පෝෂක කඳුකර ප්‍රදේශ ආශ්‍රිත හෙක්ටයාර 1500කට ආසන්න භූමි ප්‍රමාණයක් කඩිනමින් ආරක්ෂිත කලාප ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ඒකමතික එකඟතාවය පළ විය.


ජල පෝෂක ප්‍රදේශ සුරැකීම තුළින් නායයෑම් ඇතුළු ස්වාභාවික ආපදා අවම කර ගැනීමත්, නීතිවිරෝධී වන විනාශයන් වැළැක්වීමත් සහතික කිරීම සඳහාත් රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධ කරමින් පරිසර හා සංවර්ධන ගැටලු කඩිනමින් විසඳීමට මෙහිදී පියවර ගැනුණු අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාරිසරික අනන්‍යතාව රැකගනිමින් සංචාරකයන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ට ද හිතකර, සුරක්ෂිත හා පරිසර හිතකාමී නුවරඑළියක් බිහිකිරීම සඳහා වන සංවර්ධන සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු කරන බවට ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා මෙහි දී අවධාරණය කළේ ය.