Spread the love

නිමල් රාජපක්ෂ-


පරිසර අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අතර පවතින අන්තර් ආයතනික සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුත් විශේෂ සාකච්ඡාවක් අද දින පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (12) දින ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේදී පැවැත්විණි.


මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමා, පරිසර අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, පරිසර අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයන්හි ප්‍රධානීන්, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ජාතික ශාක නිරෝධායන සේවය සහ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහභාගී වූහ

රටේ පාරිසරික සුරක්ෂිතතාව, ජෛව ආරක්ෂණය සහ ආනයන-අපනයන ක්‍රියාවලීන් වඩාත් විධිමත් කිරීම වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසක් කෙරෙහි මෙහිදී සෘජු අවධානය යොමු විය. මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කෞතුකාගාරය නැරඹීම සඳහා ද පැමිණ සිටි නිළධාරීන් සහභාගී වූහ.
විශේෂයෙන්ම, නීතිවිරෝධී ලෙස මෙරටට රහසිගතව ගෙන එනු ලබන සතුන් මඟින් රට තුළ රෝග ව්‍යාප්ත වීම වැළැක්වීම සහ ජෛව ආරක්ෂණ (Biosecurity) ක්‍රමවේද ශක්තිමත් කිරීම සඳහා, එම සතුන් තාවකාලිකව රඳවා තබා කළමනාකරණය කිරීමට අවශ්‍ය විශේෂිත ‘සත්ව නිරෝධායන මධ්‍යස්ථාන’ ස්ථාපිත කිරීම කෙරෙහි මෙහිදී මූලික අවධානයක් යොමු විය.


එමෙන්ම, ශ්‍රී ලංකා රේගුවේ මෙහෙයුම් ක්‍රියාවලීන්හි දී වාප්පු ලිපිකරුවන් (Customs House Agent) යොදා ගනු ලබන සාර්ථක ක්‍රමවේදය, පරිසර අමාත්‍යාංශයට අදාළ ආයතනවල මඟ පෙන්වන්නන් (Guides/Facilitators) සඳහා ද ආදේශ කරමින් සංචාරක ප්‍රවර්ධන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට සාකච්ඡා කෙරිණි.

මීට අමතරව, පරිසර අමාත්‍යාංශය සහ ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතන මඟින් සිදු කරනු ලබන විද්‍යාත්මක පර්යේෂණ, රසායනාගාර කටයුතු සහ පාරිසරික විශ්ලේෂණ සඳහා අත්‍යවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය හා අනෙකුත් ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව නිදහස් කර ගැනීමට සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දෙන ලදී.


රට තුළට ප්ලාස්ටික් ආනයනය කිරීම සහ සායනික අපද්‍රව්‍ය (Clinical Waste) ඇතුළුවීම දැඩි ලෙස පාලනය කිරීම සඳහා දැනට පවතින නීතිමය හා මෙහෙයුම් ක්‍රමවේදයන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කරන ලදී. තවද, ආනයන හා අපනයන ක්‍රියාවලීන්ට මෙන්ම වෙනත් විවිධ කාර්යයන් සඳහා රට තුළට ගෙන්වන සහ රටින් බැහැරට රැගෙන යන පටක රෝපිත ද්‍රව්‍ය (Tissue Culture Materials) සහ අනෙකුත් සජීවී ද්‍රව්‍ය රඳවා තබා ගැනීම, ගබඩා කිරීම, නිෂ්පාදන කටයුතු සහ නිදහස් කිරීම් සම්බන්ධයෙන් වඩාත් යෝග්‍ය හා විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කිරීමට ද මෙහිදී එකඟතාව පළ විය.

රටේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම උදෙසා රාජ්‍ය ආයතන අතර පවතින සහයෝගීතාව උපරිම මට්ටමකට නංවමින්, මෙම තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ.