නිමල් රාජපක්ෂ-
මෙරට දිවයින පුරා පිහිටි ද්විතීයික හා තෘතීයික රෝහල් 130 ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල් ආරම්භ කරමින් ජනතාවට උසස් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරි ව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල – නාරාහේන්පිට ශාඛාව අංක 209, කිරුල පාර, නාරාහේන්පිට යන ස්ථානයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.
රජය බලයට පත්වීමෙන් පසු ස්ථාපිත කළ තෙවන රාජ්‍ය ඔසුසල ශාඛාව මෙය වන අතර, ගල්කිස්ස හා කිරිබත්‌ගොඩ යන නගරයන් හි අනෙක් ඔසුසල ශාඛා මීට ප්‍රථම ස්ථාපිත කිරීමට පියවර ගැනුණි.
වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ජනතා අවශ්‍යතාවය පරිදි දිවයින පුරා රාජ්‍ය ඔසුසල් ශාඛා ස්ථාපිත කිරීමේ විශේෂ වැඩපිළිවෙළට සමගාමී ව මෙම ඔසුසල ද ස්ථාපිත කරන ලදි.
රාජ්‍ය ඔසුසල විවෘත කිරීමෙන් අනතුරුව අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සිදු කරනු ලබන ඖෂධ සැපයීමේ ක්‍රියාවලියේ දී යම් යම් ගැටළු අවස්ථාවන්හි දී ජනතාවට අඛණ්ඩව සේවා සැපයිය හැකි ක්‍රමවේදයක් ලෙස ඔසුසල් ශාඛා දිවයින පුරා ආරම්භ කිරීමට පියවර ගන්නා බව පැවසී ය.
