අන්තරායකර මත්ද්‍රව්‍ය මර්ධනය වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, මත් උවදුර පාලනයට දියත් කර ඇති ජාතික මෙහෙයුම් සභාවට සහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාවට සමගාමීව
” ප්‍රාදේශීය මෙහෙයුම් සභා ” ස්ථාපිත කිරීම ආරම්භ කර ඇත.
කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ පිහිටා ඇති ග්‍රාම නිලධාරි වසම් 46, පොලිස් බලප්‍රදේශ 04 ක් ආවරණය වන පරිදි මෙම ප්‍රාදේශීය මෙහෙයුම් සභා පිහිටුවීමට සැලසුම් කර ඇත.
ඒ අනුව වැල්ලම්පිටිය පොලිස් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 20ක්, මුල්ලේරියාව පොලිස් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 14ක්, ගොතටුව පොලිස් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 08ක් සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 04ක් ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික වැඩපිළිවෙල පුළුල් ලෙස ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාවට එක්වූ කොලොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අදහස් දක්වමින්;
‘මහජන ආරක්ෂක කමිටුවලට සමාන්තරව මත්ද්‍රව්‍ය මැඩලීම විධිමත් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයා මධ්‍යගත වූ කමිටුවක් ලෙස මෙම ප්‍රාදේශීය මෙහෙයුම් සභා ආරම්භ කරනවා. දිගු කාලයක් පුරා රට වෙලාගෙන ඇති මත්ද්‍රව්‍ය ඛේදවාචකය මුලිනුපුටා දැමීමට වත්මන් රජය ප්‍රබල ලෙස මැදිහත්වෙමින් සිටිනවා. නීතිය මගින් පමණක් එය කරන්න බැහැ. මත්ද්‍රව්‍ය නිසා සිදුවන සමාජ, ආර්ථික සහ පුද්ගල විනාශය පිළිබද ජනතාව දැනුම්වත් කරමින් ඒය සිදුකළ යුතුයි.
පාසල් දරුවන් සම්බන්ධ කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත් වීම ද ඇතිව විශේෂ ක්‍රමවේද සකස් කළ යුතුයි. විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් සහ ආදි ශිෂ්‍ය සංගම්වල සහය ඇතිව පාසල් පද්ධතිය ආරක්ෂා කිරීමට මෙම කමිටු බලාත්මකව පවත්වා ගත යුතු වෙනවා.
