නිමල් රාජපක්ෂ-
නීතියේ ආධිපත්යයත්, මහජන ආරක්ෂාවත්, රැඳවියන්ගේ මානුෂික අයිතිවාසිකම් සහ ගෞරවයත් ආරක්ෂා වන බන්ධනාගාර පද්ධතියක් ගොඩනැඟීම අරමුණ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
ඇමතිවරයා මෙම අදහස් පළ කළේ බන්ධනාගාරගත රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා හැකියාවන් ජාතික තලයට ගෙන ඒම අරමුණු කර ගනිමින් ඔවුන්ගේ නිර්මාණ ඇතුළත් සිරසර ශිල්ප 2026 කර්මාන්ත හා අලෙවි ප්රදර්ශනයේ සමාරම්භක උත්සව අවස්ථාවට බත්තරමුල්ල දියත පරිශ්රයේදී අද ( 27) පෙරවරුවේ එක්වෙමිනි.
එහිදී අදහස් පළ කළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යතුමා .,අද මම මෙතැනට පැමිණියේ නිෂ්පාදන අලෙවි කිරීමේ උත්සවයකට සහභාගි වීමට පමණක් නොවෙයි. මේ අවස්ථාව මට පෙනෙන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තිබෙන අවස්ථාවක් ලෙසයි.
අද අපි දකින්නේ භාණ්ඩ කිහිපයක් පමණක් නොවෙයි. මේ සෑම නිෂ්පාදනයක් පිටුපසම කෙනෙකුගේ මහන්සියක් තිබෙනවා. අලුතින් යමක් ඉගෙනගැනීමක් තිබෙනවා. තමන්ටත් යමක් කළ හැකියි කියන විශ්වාසය නැවත ඇති කරගැනීමේ උත්සාහයක් තිබෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් දෙයක් බව කිව යුතුයි.
අපි සාමාන්යයෙන් බන්ධනාගාරයක් ගැන කතා කරන විට සිතන්නේ එහි සිටින පුද්ගලයන් කළ වැරදි ගැනයි. ඔවුන්ට ලැබිය යුතු දඬුවම ගැනයි. නමුත් ඒ කතාව ඇතුළේ අපට අමතක වන තවත් පැත්තක් තිබෙනවා. මේ බන්ධනාගාර තුළ සිටින්නේත් අපේම සමාජයේ ජීවත් වූ මිනිසුනුයි .
ඔවුන්ටත් පවුල් තිබෙනවා. මවක්, පියෙක්, බිරිඳක්, සැමියෙක්, දරුවෙක් හෝ සහෝදරයෙක් සිටිනවා. ඔවුන් ගැන බලාපොරොත්තු තබාගෙන සිටින අය සිටිනවා. තමන්ගේ ජීවිතය නැවත යහපත් කරගන්න කැමැත්තෙන් සිටින අයත් ඒ අතර ඉන්නවා. ඒ නිසා අපි මේ ප්රශ්නය දෙස බලන්න ඕනෑ නීතියේ පැත්තෙන් පමණක් නොවෙයි. මනුෂ්යත්වයේ පැත්තෙනුත් බලන්න ඕනෑ.
අපේ රජයේ අපේක්ෂාව වන්නේ නීතිය ක්රියාත්මක කරන අතරම, වැරදි කළ පුද්ගලයන්ට තම ජීවිතය වෙනස් කරගැනීමටත්, නැවත සමාජයට යහපත් පුරවැසියන් ලෙස එක්වීමටත් අවස්ථා සලසා දීමයි. පුනරුත්ථාපනය කියන්නේ එයයි.
මම හිතන්නේ පුනරුත්ථාපනය කියන වචනයේ සැබෑ අර්ථය අපි තේරුම් ගත යුතුයි. එය බන්ධනාගාරයේ සිටින කෙනෙකුට කාලය ගත කිරීමට යම් කාර්යයක් ලබාදීම පමණක් නොවෙයි. තමන්ට වටිනාකමක් තිබෙන බව දැනෙන්න සැලැස්වීමයි. අලුත් දෙයක් ඉගෙනගැනීමට අවස්ථාව ලබාදීමයි. තමන්ගේ අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති කරගැනීමට උපකාර කිරීමයි. අද අපි මේ අලෙවි කරන්නේ ඒ බලාපොරොත්තුවේ එක් ප්රතිඵලයක් ලෙසයි.
මෙහි නිෂ්පාදනයක් කරන පුද්ගලයෙක් තමන්ගේ දෑතින් යමක් නිර්මාණය කරන විට, ඔහුට හෝ ඇයට දැනෙන හැඟීම අපට තේරුම් ගන්න පුළුවන් විය යුතුයි. තමන්ටත් යමක් කළ හැකියි, තමන්ටත් අලුත් දෙයක් ඉගෙනගත හැකියි, තමන්ගේ මහන්සියෙන් වටිනා දෙයක් බිහිකළ හැකියි කියන හැඟීම පුනරුත්ථාපනයේ ඉතාමත් වැදගත් කොටසක් වෙනවා.
ඒ නිසා මේ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. නිෂ්පාදනයක් කිරීමෙන් පසුව එය අලෙවි කරගැනීමටත් අවස්ථාව තිබිය යුතුයි. නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කළ යුතුයි. නව වෙළෙඳපොළ හඳුනාගත යුතුයි. නිදහස ලැබීමෙන් පසුවත් තමන් ඉගෙනගත් කුසලතාවෙන් ජීවිකාවක් සලසා ගැනීමට හැකි මාර්ග සකස් කළ යුතුයි. එවිට මේ වැඩසටහන් බන්ධනාගාරය තුළට පමණක් සීමා නොවී, රැඳවියන්ගේ අනාගත ජීවිතයටත් සම්බන්ධ වෙනවා.
අපරාධයකින් පීඩාවට පත් වූ පුද්ගලයන්ට යුක්තිය ඉටු කිරීම අත්යවශ්යයි. ඒ වගේම නැවත අපරාධ සිදු නොවන සමාජයක් ගොඩනැඟීමත් අත්යවශ්යයි. පුනරුත්ථාපනයට අවස්ථා ලබාදීම ඒ දෙවැනි අරමුණ ඉටු කරගැනීමේ වැදගත් පියවරක් ලෙස සදහන් කළ හැකියි. නිෂ්පාදන විකුණුම් මිලෙන් සාධාරණ කොටසක් ශ්රමිකයින් වෙනුවෙන් වෙන්විය යුතුයි.
