Spread the love

නිමල් රාජපක්ෂ

” ප්‍රවාහනයේ වැදගත්ම සාධකය මෙන්ම අපගේ සේවාලාභියා වන්නේ මගියා. වර්තමානයේදී වාහන අනතුරු වලින් මියයන සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවෙලා තිබෙනවා. මෙම තත්ත්වය ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත අර්බුදයක් බවට පත්වෙලා. ජාතික ජනබලවේග ආණ්ඩුව හැටියට මගියාගේ ජීවිතය සුරක්ෂිත කිරීම අපගේ ඉලක්කයයි. ඒ ඉලක්කය මූලික කරගෙන තමයි අපි ප්‍රවාහන ප්‍රතිපත්තිය ගොඩනගන්නේ. ” යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහරගම සම්බන්ධීකරණ කමිටු සභාපති දේවානන්ද සුරවීර මහතා අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ, අද (10) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කරන බස් රථවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ නියමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.
අද පෙරවරුවේ මාකුඹුර සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ බස් රථ කිහිපයක ධාවන තත්ත්වය පරීක්ෂා කිරීම, අදාළ තාක්ෂණික ශිල්පීන් විසින් සිදු කරන ලදී. එම අවස්ථාවේදීම අදාළ බස් රථවල ප්‍රමිති සහතිකය නිකුත් කළ අතර පරීක්ෂාවට ලක්වූ බස් රථ ධාවනයට සුදුසු තත්ත්වයේ ඇති බවට ස්ටිකරයක් ඇලවීමද පාර්ලිමේන්තු මන්ත්‍රී සුරවීර මහතා අතින් සිදු කෙරිණ.

මෙම ව්‍යාපෘතිය, ඉදිරියේදී දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවත්, මෙය නීතියක් බවට පත්කර නීතිගත කිරීමට පියවර ගන්නා බවත්, ඒ තුළින් වර්තමානයේ සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය අවම කරගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති සුරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.