Spread the love

.
නිමල් රාජපක්ෂ-

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නිතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර තුළ ගැටුම්කාරී තත්වයක් ඇති වුවහොත් හදිසි ප්‍රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ මහර බන්ධනාගාරය පරිශ්‍රයේ අද (01) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.

වත්මන් ආණ්ඩුව මේ රට තුල ලොකු වෙනසක් සිදු කර තිබෙනවා. විශේෂයෙන් දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළා. පැරණි ක්‍රමය තුල නඩත්තු වුනු අය මේ ක්‍රමය වෙනස් කරනවාට කැමති නැහැ. අපිට ජනවරම තිබෙන්නේ වංචාව දුෂණය නැති කිරීමටයි. 1980 වර්ෂයේ සිට රජයටයි පාතාලයටයි නිල නොවන මට්ටමේ සම්බන්ධතාවයක් තිබුණා. පාතාලයෙන් ප්‍රතිලාභ ලබන පුද්ගලයින් විවිධ ක්ෂේත්‍රවල ඉන්න පුළුවන්. වෙනත් කිසිම රජයකින් අත්අඩංගුවට නොගත් මත්ද්‍රව්‍ය අපේ රජය යටතේ අත්අඩංගුවට ගන්නවා.

පැවති ක්‍රමය වෙනස් කිරීම නිසාවෙන්ම බන්ධනාගාර තුළ ගැටුම්කාරී තත්වයක් පසුගිය කාලය තුළ නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඇතැම්විට දුෂිත ක්‍රියාවන් සිදු කරන බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. ඔවුන් නිසා සියලු නිලධාරීන් සම්බන්ධයෙන් දුර්මතයක් සමාජ ගත වී තිබෙනවා. පසුගියදා මහර බන්ධනාගාරය තුළ ඇති වු සිද්ධිය තුළ කිසියම් සංවිධානාත්මක ස්වරූපයක් තිබෙනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. වර්තමානය වන විට විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවලට විධිමත්ව කිසිවක් කරන්න බැහැ.

ඒ නිසා විපක්ෂයට අර්බුදයක් නිර්මාණය කරන්න පුළුවන් එකම ස්ථානය බන්ධනාගාරයයි. වත්මන් රජය රාජ්‍ය සේවකයාට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. බන්ධනාගාර පද්ධතියට පහසුකම් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර තිබෙනවා. සියලුම බන්ධනාගාර සදහා ස්කෑන් යන්ත්‍ර ඉදිරි අය වැයෙන් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නවා‍.


රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය පසුගිය කාලය තුළ බරපතල ගැටළුවක් බවට පත්ව තිබුණා. එම ගැටළුව විසදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය බඳවා ගැනීම් සිදු කර තිබෙනවා. එහි නිලධාරීන් රාත්‍රි දහය පමණ වන තෙක් රාජකාරී කටයුතු සිදු කරමින් වාර්තා කඩිනම් කිරීමට කටයුතු කරනවා. අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉදිරි මාස දෙක තුළ දැනට පවතින සියලු රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම අරමුණයි. බන්ධනාගාරගතව සිටින සියලු දෙනා අපරාධකරුවන් නොවෙයි. එක මොහොතකදී වු වරදකට වැරදිකරුවන් වෙලා තිබෙනවා.


ඒ අයට දෙවන අවස්ථාවක් ලබා දිය යුතුයි. බන්ධනාගාර කිහිපයක පසුගිය කාලය තුළ සිද්ධින් ඇති වුණා. ඒ සෑම අවස්ථාවකදීම පොලීසිය, විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සහාය ලැබුණා. නමුත් යළිත් එවැනි තත්වයක් ඇති වුවහොත් සාර්ථකව මුහුණ දීමට ශක්තිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි.