Spread the love

නිමල් රාජපක්ෂ

මහල් නිවාස සංකීර්ණවල පදිංචි අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති සුබසාධන වැඩපිළිවෙලෙහි තවත් තිරසර ඉදිරි පියවරක් ක්‍රියාත්මක කරමින් එම ජනතාවගේ දෛනික ජන ජීවිතය උසස් කිරීමේ අරමුණ පෙරදැරිව එළැඹෙන මාර්තු 31 දින ‘Metro Uplift’ ජාතික වැඩසටහන කොලොන්නාව, සාලමුල්ල ‘ලක්සද සවණ’ නිවාස සංකීර්ණය මුල්කර ගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක, නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකර ඇති නිවාස සංකීර්ණයන් හි පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට අවශ්‍ය භෞතික හා සමාජයීය තත්ත්වයන් ඔප් නැංවීම මෙම ‘Metro Uplift’ ජාතික වැඩසටහන මගින් සිදු කිරීමට අපේක්ෂිතයි.

මේ පිළිබචද ප්‍රජා කමිටු නායකයින් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සෙත්සිරිපාය අදියර II, 11 වන මහලේ පිහිටි ශ්‍රවණාගාරයේ දී ඊයේ පැවැත්විණ.

2019 වසරේදී ජන අයිතියට පත්කරන ලද කොලොන්නාව ‘ලක්සද සෙවණ’ මහල් නිවාස සංකීර්ණය පර්යන්ත තුනකින් හා නිවාස ඒකක 1108 කින් සමන්විතය. එහි පවුල් 1,500 ක් පමණ පදංචිව සිටිති.

‘Metro Uplift’ ජාතික වැඩසටහන යටතේ නිවාස සංකීර්ණයේ භෞතික නවීකරණ ක්‍රියාවලියට අමතරව පදිංචි ජනතාව නගා සිටුවීම වෙනුවෙන් සමාජ සජීවීකරණ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ.

භෞතිකව සිදුකරනු ලබන නවීකරණ වැඩසටහන යටතේ විදුලි සෝපාන අලුත්වැඩියාව, ගිනි නිවන පද්ධති නවීකරණය, ළමා උද්‍යානය වැඩිදියුණු කිරීම, කසල කළමනාකරණය විධිමත් කිරීම, ආරක්ෂිත වැට ස්ථාපිත කිරීම, තීන්ත ආලේපනය ඇතුළු අංශ රැසක නවීකරණය කටයුතු සිදුකෙරේ. මේ සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 150 කි.

මහල් නිවාස සංකීර්ණ සහාධිපත්‍යක ප්‍රජා සවිබල ගැන්වීම විධිමත් කරමින් සංවිධාන කමිටු බලාත්මක කිරීම සිදුකෙරෙන අතර එහි ප්‍රධාන මෙහෙයුම් කමිටුවක් යටතේ කළමනාකරණ කමිටු, මත් නිවාරණ කමිටු, කාන්තා කමිටු, තරුණ කමිටු, ළමා කමිටු, ආරක්ෂක කමිටු පිහිටුවීම සිදුකෙරේ. ආබාධිතයන්, දරුවන්, වැඩිහිටියන් සවිබල ගැන්වීමට රජය සෘජුවම මැදිහත්වීම් කරනු ඇත.

මෙහිදී පැමිණ සිටි මහල් නිවාස කමිටු සාමාජිකයින් සහ ප්‍රජා කමිටු නායකයින් ධනාත්මක චින්තනයෙන් යුතුව මහල් නිවාස පරිහරණය කිරීමට නව ප්‍රවේශයකට පැමිණීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් විශේෂ දේශනයක් පැවැත්වීම, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලයේ උප කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ මැතිණිය සිදුකලාය. එහිදී ඇය පෙන්වා දුන්නේ අනුගාමිකයින් නොවී දරුවන් නායකයින් බවට පත්කිරීමටත්, ශිල්පීය දක්ෂතාවලින් පිරි දරුවන් රටට දායාද කරමින් පවතින මහල් නිවාස සංස්කෘතිය පරිවර්තනීය වෙනසකට ලක්කිරීමට මෙම ජාතික වැඩසටහන අතිශය වැදගත් වන බවයි. රජයේ මැදිහත්වීමෙන් නීතිඥවරුන්, වෛද්‍යවරුන්, විද්වතුන් එක්ව වසරක් පුරාවට මහල් නිවාස හිමියන් දැනුම්වත්කර ආකල්පමය වශයෙන් වෙනසකට ලක්කර අලුතින් හිතන ප්‍රවේශයකට මෙම ජනතාව ගෙන ඒම සැලසුම බවයි.

මෙහිදී සිය අදහස් දැක්වූ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා :
‘නව රජය බලයට පත්වූවාට පසු මෙම මහල් නිවාසවල තත්ත්වය සොයා බැලුවා. රජයට වගකීමක් තියෙනවා මේ ගෙවල් ජීවත්විය හැකි තැන් බවට පත් කරන්න. භෞතික වශයෙන් වැඩිදියුණු කරන්න. යටිතල පහසුකම් සංවන්න, නාගරික සංවර්ධන අධිකාරියට පුළුවන්. මේ වැය කරන්නේ ඔබේ මුදල්. භාණ්ඩාගාරයට බදු වශයෙන් ලැබුණු ඔබේම මුදල්. එමනිසා පදිංචි ජනතාවගේත් යෝජනා පදනම් කරගෙන භෞතික සංවර්ධනය ක්‍රමවත්ව සිදු කරනවා. එමෙන් ම සමාජීය වශයෙන් ප්‍රජාව බල ගැන්වීම කළ යුතු වෙනවා. දැනට පවතින මහල් නිවාස සංකීර්ණ 27 තුලම ක්‍රමානුකූලව ‘Metro Uplift’ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඔබේ මුදල් වැයකරලා විද්‍යානුකූල ප්‍රවේශයකින් ක්‍රියාත්මක කරනවා. ආරක්ෂාව, සෞඛ්‍යය, මානසික සුවදායිතාව සහතික කිරීම අවශ්‍ය වෙනවා. මෙහි වෙසෙන ජනතාවගේ සෞඛ්‍යය තත්ත්වය රැකදීම වෙනුවෙන් ජංගම සෞඛ්‍ය සේවා ඇති කරනවා. මහජන මුදල් වැයකර සිදුකරන ඉදිකිරීම් විනාශ කරන්න කිහිප දෙනෙකුට ඉඩදෙන්න බැහැ. ප්‍රජා නායකයින් විදියට බලය අතට ගන්න. තම දරුවන්ගේ ජීවිත ගොඩදාගන්න ඒකරාශි වෙන්න. මත්ද්‍රව්‍ය, පාතාලය බලාගෙන ඉන්නවා ඔබේ දරුවාව ඩැහැගන්න. අපරාධකාරී වටපිටාව නතර කරගන්න ප්‍රජා ශක්තිය ලබාදෙන්න. තිබුණු තැනට වඩා වැඩි තැනකට ඔබේ ජීවිතය ගෙනඒමට සියලුදෙනා එක්වීම අවශ්‍ය වෙනවා. ඊට නිලධාරීන්, දේශපාලන අධිකාරිය සමපාතව වැඩ කළයුතු වෙනවා.’

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු එම්. ජී. හේමචන්ද්‍ර, එහි අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු දමිත් දිසානායක, නාගරික ජනාවාස සංවරර්ධන අධිකාරියේ සභාපති අසංක අබේවර්ධන, විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසාද් රණවීර යන මහත්වරු සහ මහල් නිවාස පදිංචිකරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.