නිමල් රාජපක්ෂ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය (Division of Biomedical Engineering Service – BES) පුළුල් කොට නවීන පහසුකම් බද්ධ කරමින් සිදුකරන ලද නවීකරණයෙන් පසු එම මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීම මෙන්ම පළාත් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකවලට ඉංජිනේරු මෙවලම් බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනී Miyon Lee , කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි මහලේකම් Baek, Kwan-baek යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් අද (16) පෙරවරුවේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම (KOFIH) මගින් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානයේ (BES) අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රවණාගාරය ඇතුළුව ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රුපියල් මිලියන 501 කට අධික මුදලක් වැයකර ඇත.
මධ්‍යම, උතුරු මැද, උතුර, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත් සභා යටතේ ස්ථාපිතකර ඇති ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකක වෙත ඉංජිනේරු මෙවලම්, වෛද්‍ය පරීක්ෂණ උපකරණ සහ අලුත්වැඩියා මෙවලම්ද බෙදා දීම ද, මෙහිදී සිදු විය. ඒ සදහා රුපියල් මිලියන 228 කට අධික මුදලක් කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම මගින් වැයකර තිබේ.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා කොරියානු රජය දශක ගණනාවක සිට මෙරට සෞඛ්‍ය සහ අධ්‍යාපන, යන අංශ ඇතුළු ඩිජිටල්කරණ ව්‍යාපෘති මෙන්ම ක්ෂේත්‍ර ගණනාවකට අවශ්‍ය මූළ්‍ය හා තාක්ෂණික සහයෝගීතාවය දක්වන බව සදහන්කර සිටියේය. වර්තමානයවන විට විශාල ගැටළුවක්ව පවතින මෙරට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ව්‍යාපෘති රාශියක් කොරියානු ජනරජය මගින් ක්‍රියාත්මක කර ඇති බවත්,ඒ සියල්ලම වෙනුවෙන් දක්වන දායකත්වය විශේෂයෙන් අගය කිරීමට ලක් කළ යුතු බව ද පැවසීය.
මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ ප්‍රතිකාර සේවාවන් හි දී මෙන්ම රෝග හදුනා ගැනීමේ දී ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාව කෙතරම් වැදගත්ද යන්න මෙරට ජනතාව දන්නා බවත්, එම සේවාවන් සැපයීමේ දි උපකරණ වල වරින්වර ඇතිවන ගැටළු අප මුහුණ දෙන ප්‍රධානතම ගැටළුවක් ලෙස හදුන්වා දිය හැකි බවත් පැවසීය.
ප්‍රතිකාර සේවාවන් සදහා අවශ්‍යවන සමහර උපකරණ අවශ්‍ය පරිදි නොලැබීමට වඩා එමගින් අඛණ්ඩ සේවාව නොලැබීම හේතුවෙන් මෙරට ජනතාව විශාල වශයෙන් අපහසුතාවයට පත්වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා. එම උපකරණ නිසි පරිදි නඩත්තු කරමින් සහ නිසි පරිදි ප්‍රතිස්ථාපනය කරමින් සැපයීමේ කාර්යභාරය ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයට පැවරෙන බවද පැවසීය.
එම්.ආර්.අයි, සී.ටී, කැත්ලැබ්ස්, හා ලීනියා ඇක්සලේටර් යන නවීන තාක්ෂණය සහිත උපකරණ මෙන්ම ප්‍රමාණයෙන් ලක්ෂ පහක උපකරණ ප්‍රමාණයක් මෙම අංශය මගින් නඩත්තු කරගෙන යන බවද සදහන්කර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකරමින් යන සේවාව තවතවත් විධිමත් කිරීමට,ඉහලම මට්ටමින් අඛණඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යකරන පහසුකම් අද දිනයේ ලබා දුන් බවද සදහන් කර සිටියේය.
ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශය සදහා මෙම ගොඩනැගිල්ල 1993 වර්ෂයේ දී ලබාදීම පිළිබඳව ජපාන රජයටත් එහි දෙවන අදිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය දායකත්වය ලබාදුන් කොරියානු රජයටත් අමාත්‍යවරයා මෙහිදී සිය කෘතඥතාවය පලකර සිටියේය.
2019 වර්තමානයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භකර ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ වර්තමානයවන විට විශාල පරිවර්තනයක් සිදුව තිබෙන බවත්, එය මේ වන විට දෘශ්‍යමාන වෙමින් තිබෙන බවත් පැවසීය.
කාර්ය මණ්ඩල බදවා ගැනීම, පුහුණු කිරීම, නව තාක්ෂණික උපකරණ හදුන්වා දීම,නව ගොඩනැගිලි ඉදිකිරීම සහ නවතා දමා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම වැනි ව්‍යාපෘතීන් කිහිපයක් එහිදී සිහිපත් කළ අමාත්‍යවරයා සියළු අංශයන් සමග අන්තර් සම්බන්ධතාවයක් සහිතව කටයුතු කිරීමෙන් සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙනයන බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනී Miyon Lee මහත්මිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද මෙහි දී අදහස් පලකර සිටියේය.
පුළුල් කොට නවීන පහසුකම් බද්ධ කරමින් සිදුකරන ලද නවීකරණයෙන් පසු මෙම මධ්‍යස්ථානය මගින් මෙරට ජනතාවට ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ලබා දීමේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩි දියුණු වේ. එමෙන්ම ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහ වැඩිදියුණු කළ තාක්ෂණික සහ සැපයුම් පහසුකම් ද මේතුළ සපයා ඇත. නවීන ශ්‍රවණාගාරය තුලින් විශයට අදාළ නිලධාරීන්, කාර්මික ශිල්පීන් සහ ඉංජිනේරුවන් පුහුණු කිරීමට මෙන්ම අධ්‍යයන කටයුතුවලදී නිරූපණ සඳහා වඩා හොඳ දෘශ්‍යකරණයක් ලබා දීමට අවශ්‍ය පහසුකම්ද සළසා ඇත.
කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම “ශ්‍රී ලංකාවේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවයේ ධාරිතාව ගොඩනැගීම ” ව්‍යාපෘතියට අවශ්‍යවන අරමුදල් සපයනු ලබයි. මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 7.2 ක ප්‍රදාන ව්‍යාපෘතියක් වේ.
