Spread the love

නිමල් රාජපක්ෂ

රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප් හා දීමනා වැඩි කළ යුතු බවත්, ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජාතික ජන බලවේගයේ රජය එම වගකීම ඉටු කරමින් සිටින බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24) පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ‘ප්‍රජා ශක්ති’ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මගින් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක කරනු ලබන ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රතිලාභ පිරිනැමීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

උත්සව සභාව අමතමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල වැඩිදුරටත් සඳහන් කළේ, දිළිඳුකම අවම කිරීම පමණක් නොව, මෙරටින් දිළිඳුකම මුළුමනින්ම තුරන් කිරීම වත්මන් රජයේ ඉලක්කය බවයි.

ඒ සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ ඉහළ සිට පහළට සැලසුම් සකස් කිරීමේ ක්‍රමවේදය වෙනුවට, පහළ සිට ඉහළට සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරන නව සංවර්ධන ආකෘතියක් හඳුන්වා දී තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

එකිනෙකා හුදකලාව කටයුතු කිරීම වෙනුවට, ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා හරහා කණ්ඩායමක් ලෙස ඒකරාශී වී තමන්ගේම ගම සංවර්ධනය කිරීමට සියලු දෙනා එක්විය යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.

ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් යටතේ ලබාදෙන උපකරණ සහ පහසුකම් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා නිසි පරිදි භාවිත කළ යුතු බවත්, එසේ භාවිත නොකරන්නේ නම් ඒවා නැවත පවරා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා විශේෂයෙන් අවධාරණය කළේය.

එමෙන්ම, වත්මන් රජය යටතේ 2025–2027 වසර තුනක කාලය තුළ සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සියයට 64ත් 80ත් අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

0778 755 746