Spread the love

නිමල් රාජපක්ෂ-

කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන හන්දියේ සිට කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා වූ මාර්ග කොටස පුළුල්කර සංවර්ධනය ආරම්භ කිරීම නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින (2026.10.27) නිල වශයෙන් ආරම්භ කෙරිණ.

මෙම මාර්ග ව්‍යාපෘතිය වසර එකහමාරක් ඇතුලත නිම කිරීමට සැලසුම් කර ඇති අතර, එය 2028 අප්‍රේල් මස ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් ක්‍රියාත්මක මෙම මාර්ග ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයේ දේශීය අරමුදල් රුපියල් මිලියන 2,886 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇත. බේස්ලයින් මාර්ග ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ සංවර්ධනය කෙරෙන කිලෝමීටර් 0.86 ක මාර්ගය, මංතීරු හයක් ලෙස වැඩිදියුණු කෙරෙන අතර, එක් මංතීරුවක් මීටර් 3.5 ක පළලින් යුක්තය. එමෙන්ම පදික මංතීරු සහ පාපැදි මංතීරු ද සහිතව මාර්ග සංවර්ධනය කෙරේ.

මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා,

‘ජනතාව බලය අරන් මේ වනවිට වසර දෙකක කාලයක් වෙනවා. එම කාලය තුල රටේ පැවති දේශපාලන සංස්කෘතිය සහමුලින්ම වෙනස් කිරීමට මැදිහත් වෙලා තියෙනවා. නව දේශපාලන සංස්කෘතියක් රටතුල බිහිකර තිබෙනවා. නීතියේ ආධිපත්‍ය තහවුරු කර සැමට නීතියේ සමානාත්මතාවය ඇති කරමින් රට ගොඩනැගීමේ ජනතා කාර්යභාරය ආරම්භ කලා. නතර කර තිබූ, ප්‍රතිපාදන නැතිව තිබූ ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කලා. රටේ මාර්ග, ප්‍රවාහන, නාගරික සංවර්ධන ක්ෂේත්‍රය විධිමත් සැලසුමකට අනුව ජනතාවට පහසුකම්, ප්‍රතිලාභ ලැබෙන ලෙස නව ක්‍රමවේද, සැලසුම් ඔස්සේ නැවත ක්‍රියාත්මක කිරීමට හැකිවුණා. ඒ අතර මෙරට මාර්ග පද්ධතිය සංවර්ධනයට සමගාමීව ප්‍රවාහන ක්ෂේත්‍රය හැරවුම් ලක්ෂයකට යොමුකර තිබෙනවා.

ප්‍රවාහනය, මහාමාර්ග, නාගරික සංවර්ධනය එක පද්ධතියක් ලෙස ජනතාවට ආරක්ෂාව, පහසුකම් හා ප්‍රතිලාභ ලැබෙන ලෙස ක්‍රියාත්මක කරනවා. මාර්ග, නගර, උස් බිල්ඩින් වලට එහා ගිය, මිනිසුන්ට හා පරිසරයට හිතකර ව්‍යාපෘති ලෙස මහජන මුදල් කලමනාකරණය කරමින් කටයුතු කරනවා. රජයේ පදනම පොදු මහජනතාවයි. එමනිසා දරුවන්, දෙමව්පියන්, වැඩිහිටියන් ඇතුළු සියල්ලන් ගැන අවධානය යොමුකර සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරනවා. පාරකට කාපට් එකක් දානවට එහා ගිය පූර්ණ සංවර්ධන වැඩපිළිවෙලක් මේ සමග ක්‍රියාත්මක වෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ වගේම රටේ සෙසු පලාත්වලත් මේ වනවිට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති රැසක සැලසුම් සකස්කර අවසන්. ඒවා ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකු ආධාර, ආසියානු සංවර්ධන බැංකු ආධාර, විවිධ ව්‍යාපෘති අරමුදල් මෙන්ම ශ්‍රී ලංකා රජයේ දේශීය මූල්‍ය ප්‍රතිපාදන ලැබී තිබෙනවා. ඉදිරි වසර තුනක කාලය තුල ජනතාවට හිතකර, ජනසහභාගිත්වය සහිත වැඩපිළිවෙලක් තුලින් ජනතාවට ඉහළ ප්‍රතිලාභ සැලසෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කර රටේ සියලු දෙනාටම සංවර්ධනයේ සමාන අවස්ථා හිමිකර දීමට කැපවෙනවා. ඒ සඳහා ජනතාවාදී රජයක් ලෙස අවශ්‍ය දේශපාලන ආදර්ශය අපි ලබාදී තිබෙනවා.’

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දේවානන්ද සුරවීර, සමන්මලී ගුණසිංහ, දෙහිවල – ගල්කිස්ස නගරාධිපති පැරකුම් ශාන්ත, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි , බේස්ලයින් මාර්ග ව්‍යාපෘතියේ ඒකක ප්‍රධානී තුෂාරී ධනංජනී, එහි නේවාසික ඉංජිනේරු සුගීත් සමරසිංහ, MAGA ආයතනයේ සභාපති මේග කුලරත්න, එහි ප්‍රධාන විධායක නිලධාරි පියදාස මදරසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරමින් නිලධාරීහු සහ ජනතාව එක්ව සිටියහ.