නිමල් රාජපක්ෂ
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් තොගයක් රට තුළට ජාවාරම් කිරීමට තැත් කළ විදේශීය මගියෙකු කටුනායක, ඊයේ( 24) ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (Narcotics Control Unit – NCU) නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කෘෂිකාර්මික ඉංජිනේරුවරයෙකි. ඔහු 2026 ජූලි 22 දින සියෙරා ලියෝන් සිට අඩිස් අබාබා සහ දෝහා හරහා කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR654 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
මෙම මගියා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහුගේ අත් ගමන් මල්ල රේගු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළද කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් අනාවරණය නොවීය. කෙසේ වෙතත්, ඔහුගේ අනෙක් ගමන් මල්ල (Checked Luagage) එම ගුවන් යානයෙන් නොපැමිණීම හේතුවෙන්, නියමිත පැමිණීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපොළෙන් පිටව යාමට ඔහුට අවසර ලබා දී තිබුණි.
ප්‍රමාද වූ ගමන් මල්ල පසුව ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබූ අතර, එය භාර ගැනීම සඳහා සැකකරු අද (24) පස්වරු 6.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයට පැමිණ තිබේ. එම ගමන් මල්ල නිදහස් කිරීමට පෙර ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් එය එක්ස්-රේ පරීක්ෂාවට ලක් කිරීමේදී සැකකටයුතු ද්‍රව්‍ය නිරීක්ෂණය වීම හේතුවෙන් එය පූර්ණ භෞතික පරීක්ෂාවක් සිදු කර ඇත.
එහිදී ගමන් මල්ල තුළ තිබූ ලිපිගොනු රඳවන (File Holders) දෙකක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් පාර්සල් හතරක් සොයාගෙන තිබේ. එහි මුළු බර ග්‍රෑම් 2,198 (කිලෝග්‍රෑම් 2.198) වන අතර, එහි දළ වීථි වටිනාකම රුපියල් මිලියන 109.9ක් පමණ වන බවට තක්සේරු කර ඇත.
මෙම වැටලීම මගින්, මගියාගෙන් වෙන්ව ගමන් මල්ල පැමිණ තිබියදීත් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් දැක්වූ ඉහළ අවධානය, වෘත්තීය නිපුණතාව සහ බුද්ධිමය අවදානම් කළමනාකරණය යළිත් තහවුරු වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරු සහ අත්අඩංගුවට ගත් කොකේන් තොගය වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාරදීමට නියමිතය.
