මනිමල් රාජපක්ෂ
ඌව පළාත කේන්ද්‍ර කර ගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් සෞඛ්‍ය ආයතනවල හා එම ක්ෂේත්‍රයේ පවතින ගැටළු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදෙමින් සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීම සහ එම වැඩපිළිවෙලට රේඛීය අමාත්‍යාංශයේ දායකත්වය සක්‍රීය ලබාගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි.
මෙහිදී විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ආයතන 82 ක පවතින යටිතල පහසුකම්, වෛද්‍ය හා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍යතා, ඖෂධ හා වෛද්‍ය උපකරණ සැපයීම, වත්මන් සෞඛ්‍ය දර්ශක, බෝවන හා බෝනොවන රෝග පාලනය මෙන්ම රෝගී සත්කාර සේවා වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අදාළව අවධානය යොමූ විය යුතු විශේෂිත කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි.
එමෙන්ම ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා පළාත් රෝහල්වල පවතින ජාතික මටිටමින් විසඳා ගත යතු ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම, අවශ්‍ය සම්පත් ප්‍රමුඛතා අනුව යොමු කිරීම සහ රෝහල් සංවර්ධන කටයුතු සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
මෙම සාකච්ඡාවේදී ඌව පළාතේ ප්‍රධාන සෞඛ්‍ය දත්ත, දර්ශක සහ අභියෝග අතර ළමා පෝෂණය සහ වර්ධනය, වර්ෂිකව වාර්තා වන සජීවී උපත් සංඛ්‍යා ලේඛණ, ක්ෂය රෝග (TB) පාලනය, ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තිය, පිළිබඳව වැඩි අවධානයක් යොමු විය.
මෙහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අදහස් දක්වමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින මානව සම්පත් ඌණතාවයන්, අවශ්‍ය ඖෂධ හා උපකරණ ක්‍රමාණුකූලව සම්පාදනය සහ කළමණාකරණය, පළාත් සභා සෞඛ්‍ය ආයතනවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රේඛීය අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය සැමවිමට ලබාදීමට කටයුතු කරන බව පැවසීය.
එමෙන්ම පළාත් සභාව සහ මධ්‍යම රජය ඒකාබද්ධව ඌව පළාත මුලික කර ගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයේ ළමා පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමටත්, ලිංගිකව බෝවන රෝග පාලනයට සහ අනතුරු වළක්වා ගැනීමේ වැඩසටහන් ශක්තිමත් කිරීම මෙන්ම බෝවන හා බෝනොවන රෝග පාලනයට පියවර ගනිමින් ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමෙි සැලසුම් නිසි ආකාරව ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කළ යුතු බව ද පැවසීය.
දීප්ති විජේතුංග
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය
