Spread the love

නිමල් රාජපක්ෂ

ඉදිරි සියවස තුළ රජයේ දන්ත වෛද්‍ය සේවය ප්‍රතිකාර කිරීමට පමණක් සීමා නොවී, රෝග වළක්වා ගැනීම (නිවාරණය), කල්තියා රෝග හඳුනා ගැනීම සහ සැමට සමාන අවස්ථා ලබා දීම යන මූලධර්ම මත පදනම්ව ඉදිරියට යා යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ රජයේ දන්ත වෛද්‍ය සේවයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් නොවැම්බර් 22 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළාය.

1926 වසරේදී කොළඹ මහ රෝහලේ ඉතා සුළු පරිමාණයෙන් ආරම්භ වූ රජයේ දන්ත වෛද්‍ය සේවය, අද වන විට විශේෂඥ වෛද්‍යවරුන් 106 දෙනෙකු ඇතුළු දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 1,350 ක් පමණ සේවය කරන, දිවයින පුරා විහිදුණු ප්‍රතිකාර මධ්‍යස්ථාන 600 කින් සමන්විත ශක්තිමත් ජාලයක් බවට පත්ව ඇති බව අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

1943 දී දන්ත වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමත්, 1947 දී මෙරටදීම පුහුණුව ලැබූ පළමු දන්ත වෛද්‍යවරුන් පිරිස බිහිවීමත් මෙම ගමන්මඟෙහි සුවිශේෂී සන්ධිස්ථාන බව සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය මෙරට දන්ත වෛද්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දෙන බවද සඳහන් කළාය.

මෙම සියවසක ගමන සාර්ථක කර ගැනීමට කැපවූ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, පාසල් දන්ත චිකිත්සකවරුන්, දන්ත රසායනාගාර තාක්ෂණවේදීන්, දන්ත සහායකවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට අග්‍රාමාත්‍යතුමිය සිය කෘතඥතාව පළ කළාය.

මුඛ සෞඛ්‍යය යනු හුදෙක් දත් කැක්කුමකට ප්‍රතිකාර කිරීම හෝ දත් ගැලවීම පමණක් නොවන බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය, එය පුද්ගලයෙකුගේ පෝෂණය, කතා කිරීමේ හැකියාව, ආත්ම විශ්වාසය සහ සමස්ත ජීවන තත්ත්වය කෙරෙහි ඍජුවම බලපාන බව අවධාරණය කළාය.

අතීත ජාතික සමීක්ෂණවලදී වයස අවුරුදු 12 දරුවන් අතර 67% ක් පමණ පැවති දන්ත දිරායාමේ ප්‍රතිශතය, 2015-2016 සමීක්ෂණය වන විට 30.4% දක්වා අඩු කර ගැනීමට හැකි වීම පාසල් දන්ත සේවයේ සහ රෝග නිවාරණ වැඩසටහන්වල සාර්ථකත්වය පෙන්නුම් කරන්නක් බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

කෙසේ වෙතත්, මුඛ පිළිකා අවදානම පිළිබඳව ජනතාව තවදුරටත් දැනුවත් කළ යුතු බවත්, දුම්කොළ, බුලත් විට, පුවක් සහ අහිතකර මත්පැන් භාවිතයේ ආදීනව පිළිබඳව ජනතාවට වඩාත් ඵලදායී ලෙස කරුණු අවබෝධ කර දිය යුතු බවත් අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

බොහෝ දෙනෙකුට දන්ත වෛද්‍ය උපදෙස් මතක් වන්නේ දත් කැක්කුමක් සෑදුණු පසුවයි. අප වෙනස් කළ යුත්තේ මෙම ආකල්පයයි. සෞඛ්‍ය ආරක්ෂාව ආරම්භ විය යුත්තේ රෝගයක් වැළඳුණු පසු නොව ඊට පෙර සිට යැයි අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

ප්‍රජාව වෙත මූලික සෞඛ්‍ය සේවාවන් වඩාත් සමීප කරවමින් මෙම රෝග නිවාරණ ප්‍රවේශය ඉදිරියට ගෙන යාමට හැකි බවත්, පුද්ගලයෙකුගේ ආදායම, පදිංචි ප්‍රදේශය හෝ සමාජ තත්ත්වය මත ගුණාත්මක දන්ත වෛද්‍ය සේවාවක් ලබා ගැනීමේ අයිතිය තීරණය නොවිය යුතු බවත්, ආර්ථික වශයෙන් අපහසුතා ඇති ප්‍රජාවන්, ආබාධ සහිත පුද්ගලයින් සහ වැඩිහිටියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් කියා සිටියාය.

ඩිජිටල් දන්ත වෛද්‍ය විද්‍යාව වැනි නවීන තාක්ෂණික ජයග්‍රහණවල ප්‍රතිලාභ සමාජයේ සියලු දෙනාට සමානව හිමිවිය යුතු බවද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම වෙනුවෙන් සමරු මුද්දරය සහ මුල්දින කවරය එළිදැක්වීම ද අග්‍රාමාත්‍යතුමිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් මෙහිදී සිදු කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය චන්දන ගජනායක යන මහත්වරුන් ඇතුළු වෛද්‍ය සහ දන්ත වෛද්‍ය වෘත්තිකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.