Spread the love

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපති සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් කඩිනමින් රුසියාව බලා පිටත් කෙරෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

“මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව සංගණනයක් සිදු කරමින් සිටිනවා. ඇතැම් ලාංකිකයන් රුසියාවට යවා තිබෙන්නේ සංචාරක වීසා මඟින් බව ද මේ වන විට හෙළිවී තිබෙනවා. එසේම ඒ අතරින් විශාල පිරිසක් මෙරට ත්‍රිවිධ හමුදා නියෝජනය කළ විශ්‍රාමික හමුදා සාමාජිකයන් වනවා. මෙහිදී අපට තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ කොපමණ ප්‍රමාණයක් රුසියාවට ගොස් සිටිනවාද යන්නයි. නිල නොවන ආරංචි මාර්ගවලට අනුව 600-800ක අතර ප්‍රමාණයක් රුසියාවේ සිටින බවට වාර්තා වී තිබෙනවා. ඇතැම් විට එම ප්‍රමාණය මීට වඩා අඩු හෝ වැඩි විය හැකියි.