නිමල් රාජපක්ෂ –
මෙරට මහජනතාවට ලිංගිකත්වය පිළිබඳ නිවැරදි, විද්‍යාත්මක හා වයසට ගැළපෙන අධ්‍යාපනික දැනුම ලබාදීමේදී අනුගමනය කළ යුතු ජාතික ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාඡ් මහත්මිය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් අද (15) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා (BMICH) පරිශ්‍රයේ පිහිටි Jasmine ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (Health Promotion Bureau) විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය, ප්‍රජනන සෞඛ්‍යය, තාරුණ්‍යයේ යහපැවැත්ම සහ සෞඛ්‍ය සන්නිවේදනය නව දිශානතියකට ගෙන යන ජාතික වැදගත්කමකින් යුත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. මෙහිදී මහජනතාව, පාසල් පද්ධතිය, ගුරුවරුන්, තාරුණ්‍යය සහ ප්‍රජා මට්ටමේ සෞඛ්‍ය සන්නිවේදනය ඉලක්ක කරගත් ප්‍රධාන ජාතික මාර්ගෝපදේශ සහ අධ්‍යයන ලේඛන කිහිපයක් නිල වශයෙන් එළිදක්වන ලදී.
ශ්‍රී ලාංකීය දරුවන් හා නව යොවුන් පරපුරේ සෞඛ්‍යය, ගෞරවය, ආරක්ෂාව සහ සමස්ත යහපැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් එළිදැක්වූ ප්‍රධාන ලේඛන අතර වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපනය පිළිබඳ ජාතික සන්නිවේදන මාර්ගෝපදේශය (National Communication Guideline on Age-appropriate Sexuality Education), ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ ජාතික අධ්‍යයන වාර්තාව (Report of the National Study on Menstrual Health and Hygiene in Sri Lanka) සහ 6 හා 7 ශ්‍රේණිවල ගුරුවරුන් සඳහා සකස් කළ වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපන සන්නිවේදන අත්පොත (Grade 6 & 7 Teachers’ Handbook on Age-Appropriate Sexuality Education Communication) ප්රමුඛ ස්ථානයක් ගත්තේය.
මෙම ලේඛන මඟින් දරුවන්ට හා යොවුන් පරපුරට ඔවුන්ගේ වයසට ගැළපෙන ආකාරයෙන් නිවැරදි, විද්‍යාත්මක සහ සංස්කෘතික වශයෙන් සංවේදී දැනුම ලබාදීම සඳහා රට පුරා අනුගමනය කළ යුතු සන්නිවේදන ප්‍රවේශය ස්ථාපිත කිරීම අපේක්ෂා කරන අතර, ගුරුවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, මාධ්‍යවේදීන්, ප්‍රජා සංවිධාන සහ අදාළ සියලු පාර්ශ්ව සඳහා ප්‍රායෝගික මාර්ගෝපදේශයක් ලෙසද මෙම ලේඛන වැදගත් වේ.
මෙහිදී තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්රය සෞඛ්‍ය ප්‍රවර්ධන පරිසරයක් ලෙස සංවර්ධනය කිරීමේ අවබෝධතා ගිවිසුමට (Memorandum of Understanding) අත්සන් තැබීමද සිදු කෙරිණි. ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාත්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාත් ගිවිසුමට අත්සන් තැබූහ.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අනාගත පරපුර ආරක්ෂා කිරීමේ අරමුණින්, දරුවන්ට වයසට ගැළපෙන ලිංගිකත්ව අධ්‍යාපනය ලබාදීමේදී පැවති ඇතැම් බාධා ඉවත් කරමින්, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ප්‍රකාශන තුනක් එළිදැක්වීමට රජය පියවර ගෙන ඇති බව පැවසීය.
මෙම ප්‍රකාශන හුදු ලේඛන පමණක් නොව, අනාගත පරපුරේ ජීවිත සුරක්ෂිත කරමින් ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න සහ වගකීම්සහගත ජීවිතයකට අඩිතාලම සපයන මෙවලම් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2023 වසරේ සිට මෙම වැඩපිළිවෙළ ආරම්භ කළද, ලෝකයේ බොහෝ රටවල් මීට දශක ගණනාවකට පෙර සිටම නව යොවුන් වියේ දරුවන් මුහුණදෙන ගැටලු සඳහා විද්‍යාත්මක විසඳුම් සෙවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත්, ස්වීඩනය හා නෙදර්ලන්තය වැනි රටවල් ඒ සඳහා ආදර්ශමත් වැඩපිළිවෙළක් පවත්වාගෙන යන බවත් පෙන්වා දුන්නේය.
2025 වසරේදී ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 10,455ක් වාර්තා වී ඇති අතර, එය සැබෑ සිදුවීම් සංඛ්‍යාව නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම එම වසරේදී HIV ආසාදිතයන් 874 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් 107 දෙනෙකු වයස අවුරුදු 15ත් 24ත් අතර පසුවන්නන් බවත්, අඩු වයස් ගැබ් ගැනීම් 8,700ක් වාර්තා වී ඇති බවත් පැවසීය.
මෙම සෑම සංඛ්‍යාලේඛනයක්ම පිටුපස ජීවිතයක් සහ අනාගතයක් ඇති බව අවධාරණය කළ අමාත්‍යවරයා, එවැනි සිදුවීම් සඳහා දරුවන් පමණක් නොව, දෙමාපියන්, ගුරුවරුන්, ඥාතීන්, ආගමික නායකයන් සහ සමස්ත සමාජයම වගකීම භාරගත යුතු බව ප්‍රකාශ කළේය.
දරුවන්ගේ වයසට ගැළපෙන, විද්‍යාත්මක ලිංගිකත්ව අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය අවශ්‍යතාවක් බව පැවසූ අමාත්‍යවරයා, බොහෝ ළමා අපයෝජන සහ අනෙකුත් ගැටලුවල මූලික හේතුව නිවැරදි දැනුම හා අවබෝධය නොමැතිකම බව ක්ෂේත්රයේ විශේෂඥයන්ගේ අත්දැකීම්වලින් පැහැදිලි වන බව සඳහන් කළේය.
ලිංගිකත්ව අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ බාධා ලෝකයේ සෑම රටකම දක්නට ලැබෙන නමුත්, ඒවාට විද්‍යාත්මක පිළිතුරු තිබෙන බවද, එබැවින් වයසට ගැළපෙන ලිංගිකත්ව අධ්‍යාපනය අධිෂ්ඨානශීලීව ඉදිරියට ගෙන යා යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
මෙම වැඩසටහනට බාධා කරන පාර්ශ්වයන්, HIV ඇතුළු ලිංගාශ්‍රිත ආසාදන, අඩු වයස් ගැබ් ගැනීම් සහ ළමා අපයෝජනවල සමාජීය වගකීමද භාරගත යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙය මාධ්‍ය සංදර්ශනයක් හෝ දේශපාලන වැඩපිළිවෙළක් නොව, ප්‍රමාද වී හෝ අත්‍යවශ්‍යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු ජාතික වගකීමක් බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
