Spread the love

.නිමල් රාජපක්ෂ-

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the WHO Regional Committee for South-East Asia — RC79.) අද (07) ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී (Dili, Timor-Leste) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් (Dr. Tedros Adhanom Ghebreyesus) මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය.

දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම කලාපීය සෞඛ්‍ය සැසිවාරයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙරට නියෝජිත කණ්ඩායමක් ද සහභාගී විය.

2025 වසරේ කොළඹදී පැවති 78 වන කලාපීය කමිටු සැසිවාරයේදී සභාපති ධුරයට පත් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරයේ සමාරම්භක උත්සවය අමතමින් කලාපීය සෞඛ්‍ය පද්ධතීන් ශක්තිමත් කිරීම සඳහා ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්ති සහ සාමූහික ක්‍රියාමාර්ගවල ඇති වැදගත්කම අවධාරණය කරන ලදි.

ඒ අනුව කලාපය මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලු සහ ඉදිරි අභියෝග පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදු කළ කථාව පහත පරිදි වේ.

78 වැනි සැසියේ සභාපතිවරයා ලෙස මගේ ධුර කාලය අවසන් කරන මේ මොහොතේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ ගිනිකොනදිග ආසියානු කලාපීය කමිටුවේ 79 වැනි සැසිය ඇමතීමට ලැබීම මා ලද ඉමහත් ගෞරවයක් මෙන්ම වරප්‍රසාදයක් කොට සලකමි.

පළමුවෙන්ම, 79 වන කලාපීය කමිටු සැසිය ඩිලි නුවරදී පැවැත්වීමට සත්කාරකත්වය දැක්වීම සහ සියලුම නියෝජිතයින්ට ලබාදුන් උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ටිමෝර්-ලෙස්ටේ රජයට සහ ජනතාවට මාගේ අවංක ස්තූතිය පුද කරමි. මෙම සමුළුව සඳහා විශිෂ්ට සූදානමක් සිදුකළ ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ කලාපීය කාර්යාලයට ද මාගේ ස්තූතිය හිමි වේ.

අප කලාපයේ ළාබාලතම රටවලින් එකක් වන ටිමෝර්-ලෙස්ටේ හිදී අප හමුවන බැවින් මෙම සැසිය විශේෂයෙන් වැදගත් වේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, ජනතාවගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම මෙන්ම කලාපීය සහයෝගීතාව වෙනුවෙන් ටිමෝර්-ලෙස්ටේ දක්වන කැපවීම අපි අගය කරමු. මෙම කලාපීය කමිටුව සඳහා සත්කාරකත්වය සැපයීම තුළින්, ඔවුන්ගේ අත්දැකීම් වලින් ඉගෙනීමට, ඔවුන්ගේ ප්‍රගතිය හඳුනාගැනීමට සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න සහ සමෘද්ධිමත් අනාගතයක් සඳහා වූ ඔවුන්ගේ අපේක්ෂාවන් හුවමාරු කරගැනීමට අපට අවස්ථාවක් ලබා දී ඇත.

මෙම සැසිය අපේ කලාපයට ඉතා වැදගත් කාලවකවානුවකදී පැවැත්වෙයි. භූගෝලීය වශයෙන්, ජනගහනය අතින්, ආර්ථික තත්ත්වයන්ගෙන් සහ සෞඛ්‍ය පද්ධතීන්ගෙන් අපේ රටවල් එකිනෙකට වෙනස් වේ. එහෙත්, අපි වඩ වඩාත් පොදු අභියෝගවලට මුහුණ දෙමින් සිටිමු. ජනගහනය වයස්ගත වීම, බෝ නොවන රෝගවලින් ඇතිවන වැඩි බලපෑම, පවතින සහ අලුතින් ඇතිවන බෝවන රෝග, දේශගුණික විපර්යාස, සෞඛ්‍ය හදිසි අවස්ථා, සෞඛ්‍ය ශ්‍රම බලකාය මත ඇතිවන පීඩනය සහ වේගවත් තාක්ෂණික පරිවර්තනය ඒ අතර වේ.

ඒ අතරම, අපගේ පොදු කැපවීම විය යුත්තේ මූල්‍යමය දුෂ්කරතාවකින් තොරව සෑම පුද්ගලයෙකුටම අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් අවශ්‍ය වේලාවට ලබා ගත හැකි බව සහතික කිරීමයි.

පසුගිය වසර පුරා සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ, සාමාජික රටවල් විසින් ලබාදුන් සහයෝගීතාවය මට මහත් දිරිගැන්වීමක් විය. අපගේ කලාපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරි වැඩකටයුතු සැලසුම් කිරීමට, ප්‍රමුඛතා හඳුනා ගැනීමට, ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ සාමූහික ක්‍රියාමාර්ග මෙහෙයවීමට සාමාජික රටවලට ඇති වැදගත්ම වේදිකාව වන්නේ මෙම කලාපීය කමිටුවයි. එහි ශක්තිය රඳා පවතින්නේ සියලුම සාමාජික රටවල ක්‍රියාකාරී මැදිහත්වීම, අන්‍යෝන්‍ය ගෞරවය සහ විශ්වාසය මත ය. මෙම සමුළුවේදී ගන්නා තීරණ මගින් අපගේ පොදු අරමුණ පිළිබිඹු වන අතර, එයට නිසි බලයක් මෙන්ම වගකීමක් ද ඇත. කිසිම රටක් සතුව සියලුම ගැටලුවලට පිළිතුරු නොමැති වුවද, අපගේ කලාපය පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීමට දායක විය හැකි අත්දැකීම් සහ පාඩම් සෑම රටක් සතුවම පවතී.

2025 ඔක්තෝබර් මාසයේදී කොළඹදී 78 වැනි සැසියේ සත්කාරකත්වය දැරීමේ වරප්‍රසාදය ශ්‍රී ලංකාවට හිමි විය. අපගේ කලාපයට අදටත් වැදගත් වන එම සැසියේදී ගත් වැදගත් තීරණ දෙකක් කෙටියෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමි.

ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති හරහා සෞඛ්‍ය සම්පන්නව වයස්ගත වීම පිළිබඳ ‘කොළඹ ප්‍රකාශනය’ මගින් එක් කරුණක් අවධාරණය කෙරුණි. එනම්, වයස්ගත වන ජනගහනයට සරිලන පරිදි ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක්, පුද්ගලයා කේන්ද්‍ර කරගත් සේවා, විවිධ අංශවල එකමුතුවෙන් ගන්නා ක්‍රියාමාර්ග සහ වැඩිහිටියන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරමින් අපගේ සෞඛ්‍ය පද්ධති සහ සමාජයන් හැඩගැසිය යුතු බවයි.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අධ්‍යාපනය සහ පුහුණුව සඳහා මානව ශාස්ත්‍රය පිළිබඳ යෝජනාව ගුණාත්මක සෞඛ්‍ය සේවාවේ තවත් වැදගත් පැතිකඩක් ඉස්මතු කළේය. එනම් විද්‍යාත්මක සහ තාක්‍ෂණික විශිෂ්ටත්වය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එයට අනුකම්පාව, සංවේදීතාව සහ මානව ගෞරවය ද මුසු විය යුතු බවත් ය.

මෙම මුලපිරීම්, සරල නමුත් වැදගත් මූලධර්මයක් අවධාරණය කරයි: එනම් අපගේ සෞඛ්‍ය පද්ධති ජනතාව කේන්ද්‍ර කර ගත් ඒවා විය යුතු බවයි.

මෙම මූලධර්මය, දැනට ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලින් මෙන්ම ඉදිරියේදී එළිදැක්වීමට නියමිත 2026-2035 ජාතික සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ ප්‍රතිපත්තිය මගින් ද පිළිබිඹු වේ. එමගින් පුද්ගලයින්, ප්‍රජාවන් සහ ඔවුන්ගේ යහපැවැත්ම සෞඛ්‍ය සංවර්ධනයේදී මූලිකත්වය ලබා දෙයි. ‘ආරෝග්‍යා’ සුවතා මධ්‍යස්ථාන හරහා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම එහි වැදගත් අංගයකි. රෝග නිවාරණය සහ ශක්තිමත් මහජන සෞඛ්‍ය ආයතන සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමේ වැදගත්කම සිහිපත් කරමින්, විධිමත් ප්‍රජා සෞඛ්‍ය සේවාවන්හි වසර 100ක ඉතිහාසයක් ශ්‍රී ලංකාව මේ වසරේ සැමරුවේය.

79 වන සැසියේ අප ඉදිරියේ ඇති න්‍යායපත්‍රයෙන් පෙන්නුම් කරන්නේ අපගේ ජාතික ප්‍රමුඛතාවයන්, සමස්ත කලාපීය වැඩපිළිවෙල සමඟ කෙතරම් සමීපව සම්බන්ධ වී ඇත්ද යන්නයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් සහ විශේෂඥ සත්කාර ලබාදීමේ සාධාරණත්වය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මෙම වැදගත් කරුණ ඉදිරියට ගෙන ඒම සම්බන්ධයෙන් ටිමෝර්-ලෙස්ටේ හි ගරු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නායකත්වය ද මම අගය කරමි.

අපගේ ජනගහනය වයස්ගත වීමත් සමග සහ නිදන්ගත රෝග වැඩි වන විට, වයෝවෘද්ධ, පුනරුත්ථාපන, මානසික සෞඛ්‍ය, දිගුකාලීන සත්කාර සහ අනෙකුත් විශේෂිත සේවාවන් සාධාරණ ලෙස ලබා දීම වඩ වඩාත් වැදගත් වනු ඇත. මේ සඳහා සෞඛ්‍ය වෘත්තිකයන් වැඩි වශයෙන් බිහිකිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. කුසලතා සාධාරණ ලෙස බෙදී යාම, ඵලදායී බහුවිධ සෞඛ්‍ය කණ්ඩායම් නිර්මාණය කිරීම, රෝගීන් යොමු කිරීමේ ශක්තිමත් ක්‍රමවේද සහ අඩු පහසුකම් සහිත ජනතාවට විශේෂිත සේවාවන් ලබාගැනීමට ඇති හැකියාව සහතික කිරීම ද අවශ්‍ය වේ.

අප ඉදිරියේ ඇති න්‍යාය පත්‍රයෙන් ඔබ්බට සිතන විට, විශේෂ අවධානයක් සහ ශක්තිමත් සාමූහික ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වන, අලුතින් මතුවන කලාපීය අභියෝග හතරක් පවතී.