Spread the love

නිමල් රාජපක්ෂ-


වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් ‘අකුරට වැඩ කිරීමේ’ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටින බැවින් රෝගී හා ආබාධිත වනසතුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා පශු වෛද්‍ය සේවය කැඳවීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සාමාන්‍ය රාජකාරී වේලාවෙන් අනතුරුව, සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලදී හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන වනසතුන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීමේ ප්‍රායෝගික ගැටලු නිර්මාණය වී ඇති අතර මෙම හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ එකඟතාව මත ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව වයඹ වනජීවී කලාපයට අයත් හේරත්ගම අඩවි ආරක්ෂක බලප්‍රදේශයේ තිබ්බටුවැව ගම්මානයෙන් හමුවූ, අඩි 05ක් පමණ උසැති තුවාල ලැබූ ඇත් පැටවාට කඩිනම් ප්‍රතිකාර ලබාදීම සඳහා ගුවන්හමුදා පශු වෛද්‍ය අංශයේ නිලධාරීන් මේ වන විටත් එම ස්ථානයට ළඟා වී තිබේ.
නිකවැරටිය වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකය දැනුවත් කර තිබුණ ද, වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රතිකාර ප්‍රමාද වීමෙන් ඇත් පැටවාගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් අයහපත් වීමේ අවදානමක් පැවති අතර හේරත්ගම අඩවි ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව සහ රැකවරණය යටතේ පසුවූ එම ඇත් පැටවාට අවශ්‍ය සියලු වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ආරක්ෂක අමාත්‍යවරයාගේ සෘජු මඟපෙන්වීම යටතේ පැමිණි හමුදා පශු වෛද්‍ය කණ්ඩායම විසින් ආරම්භ කර ඇත.
වනජීවී පශු වෛද්‍යවරුන්ගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පවතින කාලසීමාව තුළදී, සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසු කාලසීමාවන්හිදී සහ සති අන්ත සහ රජයේ සියලු නිවාඩු දිනවලදී දිවයින පුරා හදිසි ප්‍රතිකාර හා සාත්තු සේවා අවශ්‍ය වන වනසතුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන්, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවය කරන ත්‍රිවිධ හමුදා පශු වෛද්‍යවරුන්ගේ පූර්ණ සේවය අඛණ්ඩව ලබා ගැනීමට අවශ්‍ය සියලු සම්බන්ධීකරණ කටයුතු යොදා ඇත.