Spread the love

නවගත්තේගම ප්‍රදේශයේ ද්විතීක වනාන්තරයෙන් අක්කර 15ක පොල් සිටුවීමට නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා කටයුතු කරමින් සිටින බවට පරිසර සංවිධාන චෝදනා එල්ල කරයි.

අක්කර 25කින් යුතු මෙම ද්විතීක වනාන්තරය යම් හෙයකින් මෙම කාර්ය සඳහා යොදාගතහොත් එය බරපතළ පාරිසරික ගැටලු රැසකට මුල පිරීමක් බවද ඔවුන් පෙන්වා දෙති.

අදාල වනාන්තරයෙන් අක්කර පහළොවක් මෙම පුද්ගලයාට ලබාදෙන ලෙස ඉකුත් ඔක්තෝබර් මස 27 වෙනිදා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවද පරිසර සංවිධාන පවසයි.

නමුත් මේ සඳහා ප්‍රතිචාර දක්වමින් වනජීවී දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ මෙම වනාන්තර පද්ධතියේ ඉඩම් මෙලෙස ලබා දීමක් සිදුවුවහොත් එහි රැඳී සිටින වන සතුන්ගේ ජීවිත දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්වනු ඇති බවයි.

කෙසේ වෙතත් චෝදනා එල්ල වන හිටපු සභාපතිවරයා පවසන්නේ තමන් මෙම ඉඩම වසර ගණනක සිට ඉල්ලා ඇතත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

තමන් වගා කිරීමට යන්නේ බදු පදනමට බවත් සුද්දාගේ කාලෙ සිට තම පරම්පරාවට මෙම ඉඩම් බදු දුන් ඔප්පු ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.