මාලන් විතාන-
ශ්‍රී ලාංකීය දේශීය වෛද්‍ය උරුමය ආරක්ෂා කරමින්, පරම්පරා ගණනාවක ජනතාවගේ සුවසෙත උදෙසා අඛණ්ඩව කැපවූ බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ වසර 97ක අභිමානවත් සුව මෙහෙවර සැමරීම නිමිත්තෙන් විශේෂ සෙත් පිරිත් සජ්ඣායන පුණ්‍ය වැඩසටහනක් සංවිධානය කර ඇත.
මෙම පුණ්‍ය වැඩසටහන 2026 ජූලි මස 17 වන දින පස්වරු 7.00ට බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය සේවා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගත් බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල, දශක නවයකට අධික කාලයක් පුරා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව සේවය සලසන ප්‍රමුඛතම සෞඛ්‍ය ආයතනයකි. දේශීය වෛද්‍ය ශාස්ත්රයේ පාරම්පරික දැනුම, අත්දැකීම් සහ නවීන සෞඛ්‍ය අවශ්‍යතා සමඟ ඒකාබද්ධ කරමින් ගුණාත්මක ආයුර්වේද ප්‍රතිකාර සේවා ජනතාව වෙත ලබාදීම මෙම රෝහලේ මූලික මෙහෙවරක් වී ඇත.
වසර 97ක කාලය තුළ රෝගී සත්කාර සේවාවන්, ඖෂධ නිෂ්පාදන හා භාවිතය, ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ දැනුම ප්‍රවර්ධනය සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ මෙම රෝහල විශාල මෙහෙවරක් ඉටු කර තිබේ.
දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් තුළ අන්තර්ගත සුව කිරීමේ දර්ශනය, රෝග නිවාරණය හා සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳ සම්ප්‍රදායික දැනුම ජනතාව වෙත සමීප කරවමින්, බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල මෙරට ආයුර්වේද සෞඛ්‍ය සේවාවේ විශ්වාසනීය මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.
මෙම රෝහල වෙත දිනපතා පැමිණෙන විශාල ජනතාවගේ ප්‍රතිකාර සේවාවන් සහ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වෛද්‍යවරුන්, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම සේවකයන් දක්වන කැපවීම ද රෝහලේ සාර්ථක ගමනට ශක්තියක් වී තිබේ.
දේශීය වෛද්‍ය උරුමය අනාගත පරපුර වෙත සුරක්ෂිතව පවරා දෙමින්, ආයුර්වේද ප්‍රතිකාර ක්ෂේත්රය තවදුරටත් ශක්තිමත් කිරීම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු පුළුල් කිරීම සහ ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සුව සේවාවක් ලබාදීම සඳහා බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල ඉදිරියට ද කැපවී කටයුතු කරනු ඇත.
රෝහලේ වසර 97ක සුව මෙහෙවර අගය කිරීම, මේ දක්වා ලබාදුන් සේවාවන් වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සහ ඉදිරි ගමන සඳහා සෙත් පැතීම මෙම සෙත් පිරිත් සජ්ඣායන පුණ්‍ය වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
