නිමල් රාජපක්ෂ
ජාත්යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය (IAEA) සංවිධාන කළ පරමාණුක බලශක්ති පිළිබඳ හය වන ජාත්යන්තර අමාත්ය සම්මන්ත්රණය කොරියානු ජනරජයේ නියෝජ්ය අග්රාමාත්ය සහ විද්යා හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්ය බේ කියුං-හූන් (Bae Kyung-hoon) මහතාගේ ප්රධානත්වයෙන් කොරියාවේ ඉන්චියොන් නුවර දී පසුගිය දා (ඔක්. 27) ආරම්භ කෙරිණි. ශ්රී ලංකාව නියෝජනය කරමින් විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතා සහ ශ්රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය තුෂාර රත්නායක මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී. සමුළුව 29 දක්වා පැවැත්වේ.
පිරිසිදු බලශක්ති ඉල්ලුම සපුරාලීම, බලශක්ති ආරක්ෂාව, බලශක්ති පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර සංවර්ධනය යන කරුණුවල දායක වීමේදී න්යෂ්ටික බලශක්තිය ඉටු කරන කාර්යභාරය පිළිබඳව උසස් පෙළේ සංවාදයක නිරත වීම, න්යෂ්ටික බලශක්තිය සංවර්ධනය කිරීම සහ යෙදවීම් සම්බන්ධ ප්රධාන ගැටලු සාකච්ඡා කිරීම සහ අදහස් හුවමාරු කර ගැනීම අරමුණු කරගනිමින් මෙම සමුළුව පැවැත්වේ.
එය විෂය භාර අමාත්යවරුන්ට, ප්රතිපත්ති සම්පාදකයින්ට, ජ්යෙෂ්ඨ නිලධාරීන්ට සහ විශේෂඥයින්ට විශිෂ්ඨ වේදිකාවක් වේ.
මෙම සමුළුව ඇමතූ විද්යා හා තාක්ෂණ අමාත්යවරයා,
ආරක්ෂිත, විශ්වාසදායක, දැරිය හැකි මිලකට ලබාගත හැකි සහ තිරසාර විදුලිබල පද්ධතියක් සංවර්ධනය කිරීමට ශ්රී ලංකාව කැපවී සිටින බවත්, මෙම සන්දර්භය තුළ අනාගත බලශක්ති අවශ්යතා සපුරාලීමේදී න්යෂ්ටික බලශක්තියට ඉටු කළ හැකි කාර්යභාරය තක්සේරු කරමින් සිටින බවත් ප්රකාශ කළේය. මෙහි දී ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ ආරක්ෂණ විධිවිධාන (Safety, security and safeguards) මූලික වැදගත්කමක් දරණු ඇති බවත් හෙතෙම පැවසීය.
රජයේ අරමුණ හුදෙක් න්යෂ්ටික බලශක්තිය හඳුන්වා දීම පමණක් නොවන බවත්, එමඟින් රටට පැහැදිලි ප්රතිලාභ අත්කර දිය හැකිද යන්න සහ ආරක්ෂිත, විශ්වාසදායක, දැරිය හැකි මිලකට ලබාගත හැකි මෙන්ම අඩු කාබන් විමෝචනයක් සහිත විදුලිබල පද්ධතියක් ගොඩනැගීමට එය දායක කර ගත හැකිද යන්න තීරණය කිරීම බවද අමාත්යවරයා පෙන්වා දුන්නේය.
ශ්රී ලංකාවේ දැනට ක්රියාත්මක වන න්යෂ්ටික බලශක්ති අධ්යයන සහ සැලසුම් වැඩසටහන සඳහා ජාත්යන්තර සහය අපේක්ෂා කරන බවද ඔහු පැවසීය. ජනතාව සඳහා තිරසාර බලශක්ති අනාගතයක් ගොඩනැඟීමේදී සාක්ෂි මත පදනම් වූ තීරණ, ශක්තිමත් ආයතන සහ ජාත්යන්තර සහයෝගීතාව සඳහා අඛණ්ඩව කැපවී සිටින බවද අමාත්යවරයා වැඩිදුරටත් ප්රකාශ කළේය.
සමුළුවට සමගාමීව, IAEA හි නව ගෝලීය න්යෂ්ටික බලශක්ති සංවර්ධන අපේක්ෂාවන් (Global Nuclear Power Development Outlook) පිළිබඳ වාර්තාව නිකුත් කිරීමද සිදු කෙරිණි. IAEA අධ්යක්ෂ ජෙනරාල් රෆායෙල් මරියානෝ ග්රෝසි මහතා ඇතුළු ලොව පුරා රටවල් නියෝජනය කරමින් අමාත්යවරුන්, රාජ්ය නිලධාරීන්, න්යෂ්ටික විශේෂඥයින් ඇතුළු විශාල පිරිසක් සමුළුවට එක්වී සිටිති.
