Spread the love

විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරු රට හැර නොයා මෙරට තුළ රැදී සිටීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දක්නට ලැබෙන බව නැගෙනහිර පළාතේ එරාවූර් රෝහලේ නිරීක්ෂණයකට එක් වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවලින් ජනතාවට ලබාදෙනු ලබන සෞඛ්‍ය සේවාවන් හි වත්මන් තත්ත්වයන් පිළිබද විශේෂ නිරීක්ෂණයක නිරත වෙමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවූර් රෝහලේ විශේෂ නිරීක්ෂණයක පසුගිය දා නිරත විය.

එම නිරීක්ෂණයෙන් අනතුරුව එරාවූර් රෝහලේ පාලනාධිකාරිය සහ රෝහල් කාර්ය මණ්ඩලය සමග රෝහල් ශ්‍රවණාගාරයේ දී රෝහලේ පවතින ගැටළු නිරාකරණය උදෙසා පැවැති විශේෂ සාකච්ඡාවේ දී අමාත්‍යවරයා ඉහත කරුණු අනාවරණය කරන ලදි.

මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන සමහර විශේෂඥ වෛද්‍යවරු පළමු පත්වීම උතුර නැගෙනහිර වැනි දුරබැහැර ප්‍රදේශවලට ලබාදුන් පසු නැවැත විදෙස්ගත වන බවයි. ආණ්ඩුව ‍බාරගන්නා අවස්ථාවේ සියයට 70 ක් පමණ වූ එම තත්ත්වය මේ වන විට අඩුවීමක් පෙන්නුම් කරන බවත්, විදෙස්ගත නොවී මෙරට නතර වීම සියයට 60 –70 දක්වා අගයක් ගන්නා බවත් එය සුභදායි ප්‍රවණතාවයක් බව ද මෙහි දී අවධාරණය කරන ලදි. ‍

විශේෂඥ වෛද්‍ය හිඟයක් පවතින මෙරට විශේෂඥ වෛද්‍යවරු සිටිනුයේ 2000 ක පමණ පිරිසක් බැවින් විශේෂඥ පුහුණුවට විදෙස්ගත ව සිටින සියලු විශේෂඥ වෛද්‍යවරු මෙරටට පැමිණ දුරබැහැර ප්‍රදේශවල තිබෙන රෝහල්වල පවා සේවය කරනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බවත්, අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙමින් එම විශේෂඥ වෛද්‍යවරුන් මෙරට රඳවා ගැනීම සඳහා රජය සුදානම් බව ද අවධාරණය කළ අමාත්‍යවරයා එමගින් මෙරට විශේෂඥ වෛද්‍ය ගැටළුව කඩිනමින් විසදිය හැකි වනු ඇති බව ද පෙන්වා දෙන ලදි.