Spread the love

නිමල් රාජපක්ෂ

විදේශ රැකියාව අතරතුරදී මරණයට පත්වූ විදේශ ගත ශ්‍රමිකයින් සඳහා ලබාදෙනු ලබන මරණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට හැකිවීම විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදීමට හැකිවූ විශාල සහනයක් බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. මෙම වන්දි මුදල ඉහල නැංවීම, වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් ලබාදීමට පොරොන්දු වූ එක් ප්‍රතිලාභයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ විදේශ රැකියාව අතරතුරදී මරණයට පත්වූ විගමණික ශ්‍රමිකයින් 50 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් වෙත රුපියල් කෝටි 7 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීමේ අවස්ථාවට ඊයේ (2026.09.10) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා,

විදේශ රැකියාවට යන හැමෝටම හීන තියෙනවා. ඒ හීන හැබෑ කරගන්න අවශ්‍යතාවය ඔවුන්ට වගේම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ටත් තියෙනවා. ඒ හීන හැබෑකරගන්න යන ගමනේදී බලාපොරොත්තු නොවුන විදිහට අවාසනාවන්ත විදිහට ජීවිතය අහිමි වූ ශ්‍රමිකයින්ට මීට පෙර කාර්යාංශය මගින් නොමිලේ ලබාදෙන රක්ෂණාවරණය මගින් රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාදුන්නා. නමුත් ඒ වන්දි මුදල ප්‍රමාණවත් නොවෙන බව අපි බලයට පත්වෙලා රාජකාරි ආරම්භ කළ මුල් අවස්ථාවේදීම ප්‍රකාශ කලා. අපිට තිබුණ එක අවශ්‍යතාවයක් තමයි මෙම ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදෙනු ලබන වන්දි මුදල ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීම. අද අපිට ඒ දේ කරන්න හැකිවුණා. මෙම ශ්‍රමිකයින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ලබාදුන් දායකත්වය ඉතාමත් ඉහළයි.

වසරකට ලක්ෂ 3ක් පමණ රැකියාවට විදේශ ගතවුවත් කුමන හෝ අවාසනාවන්ත හේතුවක් මත ඔවුන්ගෙන් 250 දෙනෙකුට පමණ වාර්ෂිකව දිවි අහිමි වෙනවා. මෙම තත්ත්වය අවම කරගන්න අපි මැදිහත් වෙලා යම් වැඩපිළිවෙළක් අපේ පැත්තෙන් යෝජනා කරලා ක්‍රියාත්මක කරන්න ආරම්භ කරලා තියෙනවා. දැනුවත් කිරීමේ වැඩසටහන්, ඒ වගේම ඒ ඒ රටවල පවත්වා නීතිය පිළිබඳව දැනුවත් කිරීම, ශ්‍රමිකයින්ගේ මානසික තත්ත්වය නගා සිටුවීම සඳහා විවිධ වැඩසටහන් යෝජනා කරලා තියෙනවා.

විදේශගත ශ්‍රමිකයින් වාර්ෂිකව මෙරටට ඇමරිකානු ඩොලර් බිලියන 8ට ආසන්න මුදලක් ප්‍රේෂණ වශයෙන් ලබාදෙනවා. ඔවුන් වෙනුවෙන් විශාල සුභසාධන පහසුකම් ප්‍රමාණයන් කාර්යාංශය දැනටමත් ක්‍රියාත්මක කරනවා වගේම අපි තව වැඩසටහන් අලුතින් හදුන්වා දෙන්නත් කටයුතු කරනවා. ඒ අතරින් එක් වැඩසටහනක් තමයි විදේශගත ශ්‍රමිකයින්ට නිවාස ණය ලෙස රුපියල් මිලියන 10ක මුදලක් බැංකු හරහා ලබාදීමට කටයුතු කිරීම. අඩු පොලියක් යටතේ මේ ණය ලබාදෙනවා වගේම කාර්යාංශය ඒ පොලියෙන් කොටසක් ගෙවන්නත් කටයුතු කරනවා. ඒ වගේම පාසල් දරුවන්ට පාසල් උපකරණ හා වාර්ෂික ශිෂ්‍යත්ව දීමනා වැනි සුබසාධන පහසුකම් දැනටත් කාර්යාංශය ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදෙනවා” යනුවෙන් සඳහන් කළේය.

මෙම ශ්‍රමිකයින් වෙනුවෙන් මීට පෙර කාර්යාංශයේ ලියාපදිංචිවීමේදී නොමිලේ ලබාදෙන රක්ෂණාවරණය මගින් රුපියල් ලක්ෂ 6 බැගින් වන්දි පිරිනමා ඇති අතර, ඉතිරි මුදල් කාර්යාංශයේ සේවක සුභසාධක අරමුදල (WWF) මගින් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන සුගත් යාලේගම හා ප්‍රසාද් පියසේන, කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ හා සාමාන්‍යාධිකාරී දේවප්‍රිය ගුණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.