Spread the love

මාලන් විතාන

ජාතික කජු ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා තාක්ෂණ හා පර්යේෂණ සහයෝගය ලබාදීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සූදානම්ව සිටී. ඒ සඳහා වූ මූලික පියවර වශයෙන් වැවිලි බෝගයක් ලෙස කජු ක්ෂේත්‍රය මුහුණ දෙන වර්තමාන සහ අනාගත තාක්ෂණික, පර්යේෂණාත්මක සහ මෙහෙයුම් අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමේ පාර්ශ්වකරුවන්ගේ  සාකච්ඡාවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහි දී දේශීය කජු ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය සහ විධිමත්ව වගා‌ කෙරෙන භූමි ප්‍රමාණය පිළිබඳවත්, එම බිම් ප්‍රමාණය වැඩිකර ගැනීම සහ ඒ් සඳහා ඇති පසුබිම පිළිබඳවත් මූලිකව විමසා බැලිණි.  ශ්‍රී ලංකාවේ කජු ගසකින් ලැබෙන සාමාන්‍ය අස්වැන්න ප්‍රමාණය 4 – 5 kg පමණ ප්‍රමාණයක් බවත් වෙනත් රටවල නවීන තාක්ෂණික ක්‍රමවේද හරහා 20kg පමණ අස්වැන්නක් ලබාගත හැකි තත්වයට දියුණු කර ඇති බවත් හෙළි කෙරිණි. රට තුළ දියුණු කජු වගාවකට වර්ෂයකට පැල මිලියනයක් පමණ අවශ්‍ය වුවද දැන් නිෂ්පාදනය කෙරෙන්නේ පැල ලක්ෂ 3-4 ප්‍රමාණ බැවින් ඊට විසඳුමක් ලෙස වර්ෂ 10ක ඉදිරිය ගැන සිතා  අවශ්‍ය බද්ධ පැල ඇතිකිරීමට විද්‍යාත්මක ක්‍රමවේද අවශ්‍ය බව මෙහිදී පාර්ශ්වකරුවන් පෙන්වා දුන්හ.

කජු වගාවේ නව ප්‍රභේද හඳුනා ගැනීම, අස්වැන්න වැඩි කර ගැනීම, අවශ්‍ය බද්ධ පැල හා ගුණාත්මක බීජ නිෂ්පාදනය වෙනුවෙන් පවතින පර්යේෂණ හා තාක්ෂණික පරතරයන් පියවීම සඳහාත්, උසස් පටක රෝපණ ප්‍රචාරණය සඳහාත් අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ ආයතනවල සහය ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය. පර්යේෂණ ප්‍රමුඛතා ක්ෂේත්‍රයන් හඳුනාගනිමින් ඊට අදාළව සිදු කරන ඉලක්කගත පර්යේෂණ වෙනුවෙන් අරමුදල් සම්පාදනය කළ හැකි බව ඹහු පෙන්වා දුන්නේය.  වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය හා  සහ පෞද්ගලික අංශය අතර උපායමාර්ගික සබඳතා ඇති කිරීම සහ ශක්තිමත්  අවබෝධතා ගිවිසුම් (MOU) යටතේ වෙනත් රටවලින් ඉහළ අස්වැන්නක් ලබාදෙන ජානමය ද්‍රව්‍ය (germplasm) ආනයනය කිරීමේ යාන්ත්‍රණයන් ඇති කිරීමේ වැදගත්කමද හෙතෙම අවධාරණය කළේය.

කජු ගස හරහා අගය එකතු කළ අතුරු නිෂ්පාදන බිහි කිරීම, භෝග විවිධාංගීකරණයට යොමු වීම ආදීය ඇතුළුව වගාව ගැන සමාජය දැනුවත් කිරීමට ප්‍රචාරණයන් සිදු කිරීම පිළිබඳවද මෙ හ දී සාකච්ඡා විය. කජු වගාවේ සංවර්ධනය වෙනුවෙන් මෙවැනි අවධානයක් මීට පෙර යොමු වී නැති බවත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ඒ සඳහා මූලිකත්වය ගැනීම පිළිබඳව පාර්ශ්වකරුවන් ප්‍රසාදය පළ කළහ.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනවල නිලධාරීන්, ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සහ  වයඔ විශ්ව විද්‍යාලයේ නියෝජිතයන්, පෞද්ගලික අංශයේ කජු වැවිලිකරුවන් සහ නිෂ්පාදකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.