Spread the love

මාලන් විතාන-

රෝග හටගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබාදීමේ සීමාවෙන් ඔබ්බට ගොස්, රෝග නිවාරණය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සදහා ඉලක්ක සහගතව පෝෂණය කේන්ද්‍ර කරගත් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති ගොඩනැගීම තුළින් නිරෝගී සමාජයක් සඳහා ශක්තිමත් පදනමක් සැකසිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය (SLMNA) සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය (SLCNP) එක්ව සංවිධානය කළ 2026 වාර්ෂික ශාස්ත්‍රීය සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. උත්සවය (04) ඊයේ පස්වරුවේ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

“සායනික සත්කාරයේ පෝෂණය සුසංයෝගී කිරීම: දකුණු ආසියාව සහ ඉන් ඔබ්බට” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සැසිවාරය සායනික පෝෂණය, මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ කලාපීය සහයෝගීතාව ඒකාබද්ධ කරන්නාවූ වැදගත් මෙන්ම විද්වත් ශාස්ත්‍රීය වේදිකාවකි.

මෙම වාර්ෂික ශාස්ත්‍රීය සැසිවාරය (04) සහ (05) දෙදින පැවැත්වෙන අතර මෙහිදී විශේෂඥ දේශන, පර්යේෂණ ඉදිරිපත් කිරීම්, සායනික විගණන, වාර්තා ඉදිරිපත් කිරීම් සහ පැනල සාකච්ඡා (Panel Discussion) ඇතුළත් පුළුල් විද්‍යාත්මක වැඩසටහන් පැවැත්වීමට සැලසුම්කර ඇත.

දේශීය හා විදේශීය විශේෂඥ වෛද්‍යවරුන්, පෝෂණ විද්‍යාඥයින් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව, ශ්‍රී ලංකාවේ සායනික පෝෂණ සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, නවීන විද්‍යාත්මක දැනුම ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රතිපත්තිමය මට්ටමේ තීරණ සඳහා දායකත්වය ලබාදීම අරමුණු කර ගන්මින් මෙම වාර්ෂික සැසිවාරය පැවැත්වේ.

මෙමගින් ශ්‍රී ලංකාවේ පෝෂණ වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්‍යාත්මක සංවර්ධනය සහ කලාපීය සහයෝගිතාවය ශක්තිමත් කිරීම සඳහා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෝෂණය යනු සෞඛ්‍ය සේවාවේ සහායක අංගයක් නොව, රෝග නිවාරණය, ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ දිගුකාලීන සත්කාරය දක්වා විහිදෙන සෞඛ්‍ය පද්ධතියේ මූලික අංගයක් බව පැවසීය. එබැවින් සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසීමේ සිට රෝහල් සේවා සැලසුම් කිරීම දක්වා සියලු මට්ටම්වලදී පෝෂණය ප්‍රමුඛතාවක් ලෙස ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කළේය.

සායනික පෝෂණය මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමඟ සෘජුවම බැඳී පවතින බවද සඳහන් කළ අමාත්‍යවරයා ජනතාවගේ ආහාර තේරීම්, ආහාර ලේබල්කරණය, වෙළඳපොළ ප්‍රවේශය සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තීරණය කරන සාධක බවද පැවසීය.

ඒ අනුව, ආහාර පනත යටතේ දියර ආහාර නිෂ්පාදනවල සීනි ප්‍රමාණය සඳහා වර්ණ කේත ලේබල්කරණ ක්‍රමය තවදුරටත් ශක්තිමත් කර ඇති අතර, එමඟින් පාරිභෝගිකයාට මිලදී ගැනීමේ අවස්ථාවේදීම පැහැදිලි හා නිවැරදි තොරතුරු මත සෞඛ්‍ය සම්පන්න තීරණ ගැනීමට හැකි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය විසින් මෙරට සායනික පෝෂණ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා පර්යේෂණ, වෘත්තීය පුහුණුව, සාක්ෂි මත පදනම් වූ සායනික භාවිතයන් සහ බහු-විෂය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම තුළින් ලබා දෙන දායකත්වය අමාත්‍යවරයා විසින් විශේෂයෙන් අගය කරන ලදී.

මෙවැනි ශාස්ත්‍රීය සංසද මඟින් ප්‍රතිපත්ති සම්පාදකයන්, වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් අතර ඇති සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් වන අතර, එය ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සෘජුවම දායක වන බවද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මෙම සැසිවාරය අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය රනිල් ජයවර්ධන, ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමයේ (SLMNA) සභාපති වෛද්‍ය සජිත මල්ලවාරච්චි, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලයේ (SLCNP) සභාපති වෛද්‍ය ජයනි තෙන්නකෝ ජයවීර යන මහත්ම මහත්මීන් ද අදහස් දක්වන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය නියෝජනය කරමින් නිලධාරීන්, විධායක සභිකයන් සහ සාමාජිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.