Spread the love

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වහාම කොලොන්නාව හා මුල්ලේරියාව නගර මෙරට පළමු ස්මාර්ට් නගර ද්විත්වය ලෙසින් ගොඩනගන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා සහතික විය.

ඒ කොලොන්නාව පැවති ජනාධිපතිවරණ ජන රැළිය අමතමිනි.

කොලොන්නාව ආසනය නියෝජනය කරන අතිවිශාල ජන සහභාගිත්වයකින් පැවති එම ජන රැළිය පැවැත්වුණේ කොලොන්නාව, උමගිලිය ක්‍රීඩාංගණයේදීයි.

ඇදහැළුණු වර්ෂාව මධ්‍යයේ වුවද තම ජයග්‍රහණය මත විශ්වාසය තැබූ කොලොන්නාව මහජනතාව අතරට සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිය කෘතවේදීත්වය පුද කර සිටියේය. එමෙන්ම කොලොන්නාව සජබ ප්‍රධාන සංවිධායක එස්. එම්. මරික්කාර් මහතාගේ සාර්ථකත්වයද මෙහිදී අගැයීමට ලක් කෙරිණ.

කොළඹ දිස්ත්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරන එස්. එම්. මරික්කාර් මහතා මෙහිදී අවධාරණය කළේ සජිත් ප්‍රේමදාස නියත ජනපති පාලන සමය තුළ කොලොන්නාව බලප්‍රදේශය දියුණු කිරීම සඳහා තමා සකසා ඇති යෝජනාවලිය පිළිබඳ ලිඛිතව, කොලොන්නාවේ සියලු ජනතාව අතට මේ වන විට පත් කර ඇති බවයි.

එමෙන්ම මරික්කාර් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සජිත් ප්‍රේමදාස මහතාගේ එකඟතාවයද මෙහිදී පල කෙරිණ.

තම පළමු ව්‍යාපෘතිය වූ ලෝ ලෙවල් පාර සංවර්ධනය කළ අයුරින්ම, කොලොන්නාව – ගොතටුව මාර්ගයත්, අඹතලේ – ග්‍රෑන්ඩ්පාස් මාර්ගයත් මංතීරු තුන බැගින් පුළුල් කර අදාළ නගර සීමාවන් වාණිජ නගර ලෙස සංවර්ධනය කෙරේ.

එම සැබෑ ජනතා අවශ්‍යතාව මැනැවින් අවබෝධ කර ගත් සජිත් ප්‍රේමදාස මහතා ඉතිරිව ඇති ඉතා සුළු වැඩ කොටස නිම කිරීම වෙනුවෙන් අඹතලේ බෝධිය පටුමග හා සේදවත්ත කලු පාලම පොම්පාගාර දෙකත් ඉදිකර දී තම ගංවතුර හා වැසි ජල පාලන වැඩසටහන සම්පූර්ණ කිරීමට මේ වන විටත් සිය අනුමැතිය ලබා දී ඇති බව සඳහන් කළේය.

කොලොන්නාවේ ජීවත්වන සෑම පුද්ගලයෙකුටම නිවසක්, සෑම දරුවෙකුටම ඉහළ අධ්‍යාපනයක්, තත්වයෙන් උසස් සෞඛ්‍ය පහසුකම් ලබා දෙමින් අතමිට මුදල් ගැවසෙන වාණිජ කොලොන්නාවක් බිහි කර, මෙම බිමේ සෑම පුරවැසියෙකුටම අභිමානයක් ගෙන දීම සිය අපේක්ෂාව බවයි මරික්කාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.