Spread the love

              

නිමල් රාජපක්ෂ-

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැලැක්වීම් වැඩසටහන යටතේ, සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම පිළිබඳ පාඨමාලාවේ පළමු අධියර  ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බළඝණ පුහුණු පාසලේදී සාර්ථකව නිමාවට පත් වුණු අතර, එහි සහතික ප්‍රධානය 2026 ඔක්තෝබර් මස 02 වැනි දින සිදු කෙරිණි.

 

ඒ අනුව, මෙම පුහුණු පාඨමාලාව තුලදී යාත්‍රා වෙත ගොඩවීම, සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීම සහ සැඟවුණු අවකාශ පරීක්ෂාවට ලක්කිරීමේ ක්‍රමවේද සහ සමුද්‍රීය වසම් දැනුවත්භාවය පිළිබඳව න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව දැනුවත් කෙරිණි.

මෙම පාඨමාලාව සඳහා බංග්ලාදේශය නියෝජනය කරමින්  නියෝජිතයින් අට දෙනෙකු (08), ඉන්දියාව නියෝජනය කරමින් එක් අයෙකු (01), මාලදිවයින නියෝජනය කරමින් අටදෙනෙකු (08) සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දහතුන් දෙනෙකු (13) ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් දහසය දෙනෙකු (16) ඇතුළත් විය.

 

එමෙන්ම, මෙම පාඨමාලාව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සමුද්‍රීය අධ්‍යයන සඳහා වූ කලාපීය මධ්‍යස්ථානය (RCMS) එක්ව පවත්වන ලද අතර, ප්‍රංශ රේගු නිලධාරීන් ඇතුළු ජාත්‍යන්තර විශේෂඥයින්ගේ විශේෂිත යෙදවුම් ඒ සඳහා දායක විය.

පාඨමාලාවේ ප්‍රායෝගික අභ්‍යාස 2026 සැප්තැම්බර් මස 29 වැනි දින ‘ස්ටෙලා බියුටි’ වෙළඳ නෞකාවේ දායකත්වයෙන් පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ A 521 යාත්‍රාවේ පැවති සැඟවුණු අවකාශ තුල මත්ද්‍රව්‍ය සෙවීමේ අභ්‍යාසයෙන් අනතුරුව, ප්‍රායෝගික අභ්‍යාස සාර්ථකව අවසන් විය.