Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ පැවති සුරාබදු අධිකාරි තනතුරුවල පුරප්පාඩු පිරවීම යටතේ නිලධාරීන් 18 දෙනෙකුට සුරාබදු අධිකාරි පත්වීම් පිරිනැමීම පසුගිය 17 වැනිදා සිදු කල බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පෙරේරා මහතා පවසයි.

සුරාබදු දෙපාර්තමේන්තුව වර්ෂ 1913 දී ස්ථාපිත කර ඇති අතර, වසර 113ක් පුරාවට මත්පැන් හා දුම්කොළ ආශ්‍රිත කර්මාන්තයන් පිළිබඳව නියාමනය කරමින් රාජ්‍ය බදු ආදායම සුරක්ෂිතව රාජ්‍යයට අයකර දෙමින්, නීතිවිරෝධී කටයුතු සඳහා නීතිය බලගන්වමින්, නිවාරණ හා උපදේශන කටයුතු මගින් සමාජ ආරක්ෂණය කරමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

මුදල් අමාත්‍යාංශයේ පාලනයට යටත්ව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයකු විසින් මෙහෙයවනු ලබන සුරාබදු දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය අතර සුරාබදු අධිකාරි තනතුරු 31ක් අනුමතව පවතී. නමුත් වසර ගණනාවක සිට එම අනුමත සුරාබදු අධිකාරි තනතුරු විශාල ප්‍රමාණයක් පුරප්පාඩුව පැවතුණි.

වත්මන් මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම අනුව මුදල් අමාත්‍යාංශයේ සහ සුරාබදු කොමසාරිස් ජනරාල්තුමාගේ සෘජු මැදිහත්වීමෙන් 2025 සහ 2026 වර්ෂවලදී නිල ඇඳුම් කාර්ය මණ්ඩලය සඳහා නව සුරාබදු පරීක්ෂකවරුන් හා සුරාබදු නියාමකවරුන් බඳවා ගැනීම මෙන්ම සියලුම තනතුරුවල උසස් කිරීම් ද සිදු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ පාලන හා මානව සම්පත් අංශය විසින් පියවර ගෙන තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස 2026.08.06 වැනි දින ජ්‍යෙෂ්ඨතාව හා කුසලතාව මත සුරාබදු අධිකාරි තනතුරට උසස් කිරීම සඳහා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණය සමත් නිලධාරීන් 18 දෙනෙකු සඳහා 2026.11.17 වැනි දින සුරාබදු අධිකාරි පත්වීම් පිරිනමන ලදී.

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ පැවති විශාලතම ශ්‍රේණියේ තනතුරක් වන සුරාබදු අධිකාරි තනතුරේ පැවති පුරප්පාඩු සියල්ලම සම්පූර්ණ වන අතර, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සිය අරමුණු හා ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ මෙහෙවරේදී මෙම තනතුරු සම්පූර්ණ වීම මනා පිටුවහලක් වනු ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පෙරේරා මහතා පවසයි.