Spread the love

මාලන් විතාන –

ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක හා අඛණ්ඩ නිදහස් සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම සඳහා සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීමේ ජාතික වැඩපිළිවෙළ තවත් වැදගත් පියවරක් ඉදිරියට තබමින් රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර lll ශ්‍රේණියේ නවක නිලධාරින්  (Public Health Management Assistant – PHMA) 228 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම ආයතනයේ දී පැවැත්විණි.

රෝහල් පද්ධතියේ කළමනාකරණ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, රෝගී සත්කාරක සේවාවන් බිඳවැටීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම, සෞඛ්‍ය ආයතනවල රාජකාරි ක්‍රියාවලිය නවීන කළමනාකරණ ප්‍රවේශයන්ට අනුගත කරමින් විධිමත් කිරීම සහ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ශක්තිමත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රමුඛ අරමුණු අතර වේ.

එම වැඩපිළිවෙළ යටතේ පත්වීම් ලැබූ නව රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර මහත්ම මහත්මීන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනයවන රෝහල් හා සෞඛ්‍ය ආයතනවල  පවතින සේවා අවශ්‍යතා අනුව අනුයුක්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඔවුන්ගේ සේවය මගින් රෝහල් කළමනාකරණ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, තොරතුරු හා ලේඛන කළමනාකරණය විධිමත් කිරීම, සෞඛ්‍ය සේවකයන්ගේ කාර්ය සාධනයට කළමනාකරණ සහාය ලබාදීම සහ ජනතාවට කඩිනම්, ගුණාත්මක හා විශ්වාසනීය සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා සැලකිය යුතු දායකත්වයක් හිමිවනු ඇත.