නිමල් රාජපක්ෂ-
සෞදි අරාබියේ රැකියා සඳහා පිටත්ව යන වෘත්තිය කුසලතා සහිත ශ්‍රමිකයින්ට වැදගත් ජයග්‍රහණයක් අත්කර දෙමින්, Skills Verification Programme (SVP) යටතේ පවත්වනු ලබන අනිවාර්ය කුසලතා සත්‍යාපන විභාගය ඉදිරියේදී සිංහල සහ දෙමළ භාෂාවලින් පෙනී සිටීමේ අවස්ථාව ලබාදීමට සෞදි අරාබියේ TAKAMOL Holdings ආයතනය එකඟතාව පළ කර තිබේන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාර්තාවක් උපුටා දක්වමින් සදහන් කරයි.
රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දිගු කලක් තිස්සේ මෙම පහසුකම ලබාදෙන ලෙස සෞදි බලධාරීන්ගෙන් සිදු කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර, එමඟින් මෙතෙක් භාෂාමය බාධාවන් හේතුවෙන් SVP විභාගයට පෙනී සිටීමේදී අපහසුතාවයට පත්වූ ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂකයින්ට විශාල සහනයක් සැලසෙනු ඇත.
ලැබී ඇති නිල දැනුම්දීම අනුව, SVP විභාග ප්‍රශ්න පත්‍ර TAKAMOL මාර්ගගත පද්ධතියට සිංහල සහ දෙමළ භාෂාවලින් අදියර දෙකක් යටතේ ඇතුළත් කෙරේ. පළමු අදියර 2026 ජූලි 29 දින ආරම්භ වී ඇති අතර දෙවන අදියර 2026 අගෝස්තු 15 දින ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම නව පහසුකම මඟින් සෞදි අරාබියේ නියමිත කුසලතාමය රැකියා සඳහා අයදුම් කරන ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ මව් භාෂාවෙන් අනිවාර්ය SVP විභාගයට පෙනී සිටීමට හැකි වන අතර, කුසලතා සහ අර්ධ කුසලතා සහිත ශ්‍රමිකයින් වැඩි පිරිසක් සෞදි අරාබියේ රැකියා අවස්ථා සඳහා සුදුසුකම් ලබා ගැනීමට මෙය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම නව වැඩපිළිවෙළ පිළිබඳව දිවයින පුරා පුළුල් මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර, බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ද මෙම තොරතුරු යොමු කරමින් අදාළ රැකියා අපේක්ෂකයින් දැනුවත් කිරීමට පියවර ගනු ඇත.
සෞදි අරාබියේ රැකියා සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන කුසලතා සහ අර්ධ කුසලතා සහිත ශ්‍රී ලාංකිකයින් මෙම නව පහසුකමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් තම මව් භාෂාවෙන් SVP විභාගයට පෙනී සිට සාර්ථකව රැකියා අවස්ථා හිමිකර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටීයි.
