Spread the love

නිමල් රාජපක්ෂ

අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය 2026 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී අද (15) පෙරවරුවේ පැවැත්විණි.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව චාරිත්‍රානුකූලව මෙය සංවිධානය කර තිබිණි.

අද (15) උදෑසන ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා  හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවයට එක් විය.

ආගමික වතාවත්වලින් අනතුරුව අද උදෑසන 6.55ට යෙදුණු සුබ මොහොතින් මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස වෙත චාරිත්‍රානුකූලව හිසතෙල් ගැල්වීම සිදු කළහ.

මෙහිදී මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතාවට ආශිර්වාද පළ කරනු ලැබූහ.

මේ අතර හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය වෙනුවෙන් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණ සිටි ජනතාව අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත වූ අතර ඔවුහු උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් එක් කළහ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන්වන පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මල්වතු, අස්ගිරි උභය විහාරයීය කාරක සංඝ සභික ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස,  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් යන මහත්වරුද, රාජ්‍ය නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.