Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ 10 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය – 2026 (10th Navy Open Shooting Championship – 2026) 2026 ජූලි 01 සිට 12 දක්වා වැලිසර නාවික හමුදා වෙඩි තැබීමේ සංකීර්ණයේදී සාර්ථකව පැවැත්විණි.

එහි ත්‍යාග ප්‍රදානෝත්සවය 2026 ජූලි 18 වන දින නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකාව ‘ගැමුණු’ ආයතනයේ පිහිටි කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාංගණ සංකීර්ණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී  ලංකා පොලීසිය මෙන්ම දිවයිනේ වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 900කට අධික පිරිසක් සහභාගි වූහ. එම සහභාගිවූවන් අතරින් 800කට අධික පිරිසක් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වීම මෙම තරඟාවලියේ කැපී පෙනෙන විශේෂත්වයක් විය.

එමෙන්ම, මෙමඟින් ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ සහ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එකම තරඟ බිමක සිය දක්ෂතා උරගා බැලීමට, අත්දැකීම් හුවමාරු කර ගැනීමට හා වෙඩි තැබීමේ ක්‍රීඩාවේ තාක්ෂණික කුසලතා තවදුරටත් වර්ධනය කර ගැනීමට අනගි අවස්ථාවක් උදා විය.

විශේෂයෙන්ම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවීමට හා අනාගත ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ශූරයන් බිහිකිරීම සඳහා මෙම තරඟාවලිය වැදගත් වේදිකාවක් බව යළිත් තහවුරු විය.

තවද, දැඩි තරඟකාරීත්වයක් යටතේ පැවති මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩිතැබීමේ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් වූ අතර, සිය දක්ෂතා තුළින් නාවික හමුදාවට අභිමානයක් එක් කළහ.

එමෙන්ම, මෙම තරඟාවලිය ශ්‍රී  ලංකාවේ වෙඩි තැබීමේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම, නව දක්ෂතා හඳුනා ගැනීම සහ විවිධ ක්ෂේත්‍ර  නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සහයෝගීතාව හා තරඟකාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් තරඟාවලියක් බවට පත්විය.