නිමල් රාජපක්ෂ
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් 13 වැනිදා පැවැති 26 වැනි ශ්රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේ (SLEIS) 2026 සැසිවාරයට සහභාගී වෙමින් පැවසුවා ය.
2026 ඔක්තෝබර් 12 සහ 13 යන දෙදින පැවැති මෙම සමුළුව සඳහා ප්රතිපත්ති සම්පාදකයන්, ව්යාපාරික නායකයන්, ආයෝජකයන් ඇතුළු පාර්ශ්වකරුවන් රාශියක් සහභාගී වූ අතර, ශ්රී ලංකාවේ ආර්ථික අපේක්ෂාවන් සහ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම සමුළුව මඟින් අවස්ථාව සැලසුණි.
“ඩිජිටල් යුගයක ජාතිය ගොඩනැගීම” (Nation Building in the Digital Age) මැයෙන් පැවති සැසිය ඇමතූ අග්රාමාත්යතුමිය, ශ්රී ලංකාව හුදෙක් තාක්ෂණය භාවිත කරන රටක් නොව නවෝත්පාදන බිහිකරන රටක් බවට පරිවර්තනය කිරීම සඳහා රජය කැපවී සිටින බව අවධාරණය කළාය. ඒ අනුව, රටේ 2030 වන විට ඩිජිටල් ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නැංවීම, ඩිජිටල් අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය කිරීම සහ ඩිජිටල් ක්ෂේත්රයේ වෘත්තිකයන් 200,000කින් සමන්විත ශ්රම බලකායක් ගොඩනැගීම රජයේ අරමුණ බව අග්රාමාත්යතුමිය සඳහන් කළාය.
රාජ්ය ආයතන නවීකරණය කිරීම සහ මහජන සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් ක්ෂේත්රයේ පොදු යටිතල පහසුකම් (Digital Public Infrastructure) සංවර්ධනය කිරීමේ වැදගත්කම ද අග්රාමාත්යතුමිය පෙන්වා දුන්නාය. ඩිජිටල් ආර්ථික අමාත්යාංශය යටතේ ස්ථාපිත කර ඇති ආයතනික රාමුව හරහා මූලික ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් වෙන් කිරීමට රජය කැපවී සිටින බව ද තවදුරටත් සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්යතුමිය
රාජ්ය ආයතන 300කට වැඩි සංඛ්යාවක් සම්බන්ධ කර ගනිමින් රුපියල් බිලියන 6කට අධික ගෙවීම් ප්රමාණයක් සිදු කර ඇති GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව, රාජ්ය ගනුදෙනු සරල කිරීම, විනිවිදභාවය ඉහළ නැංවීම සහ පුරවැසියන්ට හා ව්යාපාරිකයන්ට පැවරෙන පරිපාලනමය බර අවම කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය යොදාගත හැකි ආකාරය පිළිබඳ නිදසුනක්.
ඩිජිටල් තාක්ෂණය සඳහා ප්රවේශ වීමට පවතින විෂමතා අවම කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සමඟ එක්ව අධ්යාපන පද්ධතිය තුල ඩිජිටල් තාක්ෂණය ශක්තිමත් කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් සකස් කර ඇති බව අවධාරණය කළ අග්රාමාත්යතුමිය තාක්ෂණික යටිතල පහසුකම් සහිත පාසල් සංඛ්යාව ඉහළ නැංවීම ද එහි අරමුණක් බව පෙන්වා දුන්නාය.
අධ්යාපන ක්ෂේත්රය පරිවර්තනය කිරීම සහ අනාගතයට ගැළපෙන ශ්රම බලකායක් සූදානම් කිරීම රජයට පමණක් කළ හැකි කාර්යයක් නොවන බවත් ඒ සඳහා රජය, පෞද්ගලික අංශය සහ කර්මාන්ත ක්ෂේත්රය අතර සහයෝගීතාව ද අවශ්ය වන බව පෙන්වා දුන් අග්රාමාත්යතුමිය තරුණ පරපුර වෙනුවෙන් කර්මාන්ත ක්ෂේත්රයේ පුහුණු අවස්ථා ලබාදීම, වෘත්තීය පුහුණු ආයතන සමඟ හවුල්කාරිත්වයන් ගොඩනැගීම සහ සැබෑ ශ්රම වෙළෙඳපොළ අවශ්යතා පිළිබිඹු කරන වැඩසටහන් සංවර්ධනය කිරීම හරහා වෘත්තීය අධ්යාපනයට සහාය වන ලෙස ව්යාපාරික ප්රජාවගෙන් ඉල්ලා සිටියාය.
මෙම අවස්ථාවට ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්රිෂාන්ත බාලේන්ද්ර මහතා, ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ ලේකම් ඇතුළු රාජ්ය නිලධාරීහු සහ කර්මාන්ත ක්ෂේත්රයේ නියෝජිතයෝ සහභාගී වූහ.
