නිමල් රාජපක්ෂ-
ජනාධිපති අනුර කුමාර දිසානායක 2027 වසරේ අයවැය මඟින් සංවර්ධන වැඩසටහන් සඳහා ප්රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල පවසයි.
ඇමතිවරයා මෙසේ පැවසුවේ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්රජා ශක්ති’ වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ක්රියාත්මක කිරීම සහ දැනට ක්රියාත්මක ග්රාමීය සංවර්ධන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින්, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය යටතේ ක්රියාත්මක ග්රාමීය සංවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරන ලද ප්රජා සංවර්ධන සභා නියෝජිතයන්ගේ සමුළුවක් ඊයේ (28) කිලිනොච්චිය, කරඩිප්පොක්කු ප්රදේශයේ ග්රීන් බාරතී ශාලාවේදී පැවැති අවස්ථාවේදීය.
සැලසුම් සකස් කිරීමේදී සීත කාමරවල සිට තීරණ ගැනීමේ පැරණි ක්රමවේදය වෙනුවට, ග්රාමීය ජනතාවගේ සැබෑ අවශ්යතා හඳුනාගෙන පහළ සිට ඉහළට සංවර්ධන සැලසුම් සකස් කිරීම ‘ප්රජා ශක්ති’ වැඩසටහනේ මූලික අරමුණ වන බවයි.
සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ යන සියලු ජනකොටස්වලට මෙන්ම, උතුර, නැගෙනහිර, දකුණ සහ බටහිර යන සියලු ප්රදේශවල ජනතාවට ද කිසිදු ජාතික, ආගමික හෝ ප්රාදේශීය භේදයකින් තොරව සමාන සංවර්ධන අවස්ථා උදාකර දීම වත්මන් රජයේ අරමුණ බව අමාත්යවරයා අවධාරණය කළේය. ඒ අනුව, ජනතාවගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීම සහ ග්රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් පොහොසත් රටක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බව ද ඔහු සඳහන් කළේය.
