Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) වෙත ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති Jan Thesleff මහතා පසුගියදා නිල හමුවක් සඳහා පැමිණියේය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ස්වීඩන කොන්සල් ජනරාල් සංජය කුලතුංග මහතා ද මෙම සාකච්ඡාවට එක්විය.

මෙම හමුවේදී විජේසිංහ මහතා ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කළ අතර, රටේ ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර, නැගී එන අවස්ථා සහ නෝර්ඩික් (Nordic) කලාපය සමඟ වෙළඳාම පුළුල් කළ හැකි විභව ක්ෂේත්‍ර පිළිබඳව කරුණු පැහැදිලි කළේය. එහිදී 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා එක්ස්පෝ 2027″ (Sri Lanka Expo 2027) ප්‍රදර්ශනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු වූ අතර, එය ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ශ්‍රී ලාංකික අපනයනකරුවන් සම්බන්ධ කරන ප්‍රමුඛතම වේදිකාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තානාපති තෙස්ලෙෆ් මහතා ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධන ප්‍රයත්නයන්ට සහාය වීමට දැඩි උනන්දුවක් දැක්වූ අතර, ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 සඳහා ස්වීඩන වෙළඳ දූත පිරිසක් රැගෙන ඒමට ස්වීඩනයේ කැපවීම ‌ මෙම හමුවේදී තහවුරු කළේය. ශ්‍රී ලංකා එක්ස්පෝ 2027ප්‍රදර්ශනය සඳහා ස්වීඩන ගැනුම්කරුවන්ගේ සහ ආයෝජකයින්ගෙන් සමන්විත වෙළද දූක කණ්ඩායමක් සූදානම් කරමින් පවතින බව ඔහු සඳහන් කළේය. යුරෝපීය සහ නෝර්ඩික් වෙළඳපලවල අවශ්‍යතා සපුරාලීමට සුදුසු උසස් තත්ත්වයේ සහ තිරසාර නිෂ්පාදන නිපදවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති කීර්ති නාමය ද තානාපතිවරයා මෙහිදී පිළිගත්තේය.

සාකච්ඡාවලදී ලංකා කුරුඳු, පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ, ඇඟලුම් සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ඇතුළු ශ්‍රී ලාංකික අංශ කිහිපයක පවතින ප්‍රබල අපනයන විභවය කැපී පෙනුණි. ශ්‍රී ලාංකික අපනයනකරුවන් පවත්වාගෙන යන උසස් තත්ත්ව ප්‍රමිතීන් ඇගයීමට ලක් කළ තානාපති තෙස්ලෙෆ් මහතා, ස්වීඩනයේ සහ සමස්ත නෝර්ඩික් කලාපය තුළ මෙම නිෂ්පාදන සහ සේවාවන් සඳහා වර්ධනය වන වෙළඳපල අවස්ථා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ නෝර්ඩික් රටවල් අතර වෙළඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම සිය කැපවීම යළිත් තහවුරු කළහ. ශ්‍රී ලංකාව සහ නෝර්ඩික් කලාපය අතර ශක්තිමත් වාණිජමය සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා තානාපති තෙස්ලෙෆ් මහතා දක්වන අඛණ්ඩ සහාය, වටිනා සහයෝගීතාවය සහ කැපවීම වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සිය අවංක ස්තූතිය පුද කළේය.