Spread the love

නිමල් රාජපක්ෂ-

‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අපේක්ෂිත චර්යාමය වෙනස ප්‍රායෝගිකව ළඟා කරගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ක්ලීන් ශ්‍රී ලංකා කේන්ද්‍රීය කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් ඊයේ (14) පෙරවරුවේ අරලියගහ මන්දිර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න, නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කර තිබිණි.

මෙහිදී ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ මූලික පදනම වන ‘SEE’ සංකල්පය සහ එය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඵලදායී ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම සංකල්පය ඔස්සේ මෙරට සමාජයේ අපේක්ෂිත පරිවර්තනයක් ඇති කිරීම, පරිසරයේ තිරසාර පැවැත්ම තහවුරු කිරීම සහ පුරවැසියාගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී පුළුල් අවධානය යොමු කෙරිණි.එමෙන්ම, 2025/26 වර්ෂයන්හි ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතියද මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කෙරිණි.

2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘ක්ලීන් ශ්‍රී ලංකා හරිත මාවත’, ‘ක්ලීන් කලම්බෝ’, ‘ක්ලීන් ශ්‍රී ලංකා පිවිතුරු පුරවර’, ‘ක්ලීන් සිටි’ සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා නාගරික හරිත උද්‍යාන’ ඇතුළු මහා පරිමාණ ව්‍යාපෘති රැසක් පිළිබඳවද රැස්ව සිටි නියෝජිතයන් දැනුවත් කෙරිණි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පය රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් ජනතාව වෙත වඩාත් සාර්ථකව ගෙන යාම සඳහා වන උපායමාර්ගික වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. එමෙන්ම, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ දැනට ක්‍රියාත්මක වන සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා තමන් වෙත පැවරෙන කාර්යභාරය පිළිබඳවද රැස්ව සිටි නියෝජිතයෝ අදහස් හුවමාරු කර ගත්හ.

මෙම සාකච්ඡාව සඳහා ක්ලීන් ශ්‍රී ලංකා කේන්ද්‍රීය කමිටු සාමාජිකයන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරුන් ඇතුළු තුන්සියයකට අධික පිරිසක් එක්ව සිටියහ. සමාජීය, ආචාරධර්ම හා පාරිසරික කුලුනු සඳහා වන නිලධාරීන් සහ සම්බන්ධීකාරකවරුන් 137 දෙනෙකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල නියෝජිතයන් 125 දෙනෙකු සහ ප්‍රධාන ලේකම් කාර්යාල හා ආණ්ඩුකාරවරුන්ගේ නියෝජිතයන් ඇතුළු නිලධාරීන් 45 දෙනෙකු ඊට ඇතුළත් වූහ.