Spread the love

නිමල් රාජපක්ෂ-

.

ශ්‍රී ලාංකේය බෞද්ධ ආගමික හා සංස්කෘතික උරුමයේ අභිමානවත් සංකේතයක් වන ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 76 වැනි ඇසළ මහා පුණ්‍යෝත්සවයට සමගාමීව පැවැත්වෙන පාවඩ පෙරහර ඊයේ (13) රාත්‍රියේ පැවැති අතර, එම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද සහභාගී විය.

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මධ්‍යයේ මෙවර ඇසළ පුණ්‍යෝත්සවය පැවැත්වෙන අතර, ජූලි 25 වැනිදා ආරම්භ වූ පුණ්‍යෝත්සවය අගෝස්තු 16 වැනිදා දිය කපන පෙරහර හා දේව දානය පැවැත්වීමෙන් අනතුරුව නිමාවට පත්වීමට නියමිතය.

1950 වසරේදී බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන් වහන්සේ විසින් ආරම්භ කරන ලද බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය, දශක හතකට වැඩි කාලයක් පුරා අඛණ්ඩව පැවැත්වෙමින් ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රමුඛතම ආගමික හා සංස්කෘතික පුණ්‍යෝත්සවයක් බවට පත්ව ඇත.

බුදු දහමේ ආධ්‍යාත්මික වටිනාකම්, සම්ප්‍රදායික ආගමික චාරිත්‍ර, උඩරට, පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන්, බෙර වාදන සහ පෙරහර සංස්කෘතිය එකට කැටි කරගත් බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය, ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමයේ සුවිශේෂී අනන්‍යතාවක් විදහා දක්වන ජාතික මට්ටමේ ආගමික හා සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකේ.

මෙවර ඇසළ පුණ්‍යෝත්සවයේ ආරම්භක ආගමික වැඩසටහන් ලෙස ජූලි 25 සහ 26 දෙදින නායක හා අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ වාර්ෂික ගුණානුස්මරණ දානමය පින්කම් පැවැත්වුණු අතර, ජූලි 29 සිට 31 දක්වා බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන් වහන්සේ සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් ධර්ම දේශනා මාලාවක් ද පැවැත්විණි.

අගෝස්තු 02 වැනිදා සති පිරිත් දේශනයෙන් අනතුරුව අගෝස්තු 07 වැනිදා සුදු දෙනුන් පිදීමේ ආගමික කටයුත්ත ද සිදු කෙරිණි. අගෝස්තු 08 වැනිදා දොරකඩ අස්න අනුශාසනාව, දේව දූත පෙරහර සහ කුඹල් පෙරහර පැවැත්වුණු අතර, අගෝස්තු 10 සිට 12 දක්වා මල් පෙරහර ද පැවැත්විණි.

එම පෙරහර මාලාවේ තවත් වැදගත් අදියරක් ලෙස ඊයේ (13) පාවඩ පෙරහර වීථි සංචාරය කළ අතර, අද (14) රන්සිවිලි පෙරහර පැවැත්වීමට නියමිතය.

ඉන් අනතුරුව හෙට අනිද්දා එනම් අගෝස්තු 15 වැනිදා රාත්‍රියේ මෙවර 76 වැනි බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවයේ අති උත්කර්ෂවත් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීමට නියමිත අතර, අලි ඇතුන්, උඩරට, පහතරට හා සබරගමු සම්ප්‍රදායික නර්තන අංග, බෙර වාදන සහ විවිධ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත එම මහා පෙරහර බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යයේ අතිශය ආකර්ෂණීය හා අභිමානවත් අවස්ථාවක් ලෙස සැලකේ.

ආගමික වතාවත්, සම්ප්‍රදායික චාරිත්‍ර, කලා හා සංස්කෘතික අංගයන් මෙන්ම සමාජ සත්කාරක කටයුතු ද සමඟින් දශක හතකට වැඩි කාලයක් පුරා ජනතාවට ආධ්‍යාත්මික ශක්තිය හා ආශීර්වාදය ලබාදෙමින් පැමිණෙන බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය, ශ්‍රී ලාංකේය බෞද්ධ හා සංස්කෘතික උරුමය අනාගත පරපුර වෙත සුරක්ෂිතව දායාද කිරීමේ සුවිශේෂී මෙහෙවරක් ද ඉටු කරයි.

මෙම අවස්ථාවට   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,  කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉසංකා උඩවත්ත, බොරලැස්ගමුව නගරාධිපති ප්‍රදීප් නිශාන්ත වෙදමුල්ල, දෙහිවල ගල්කිස්ස නගරාධිපති පැරකුම් ශාන්ත, බෙල්ලන්විල ඇසළ පෙරහැර කමිටුවේ සභාපති එච්.ඩී ප්‍රේමසිරි, පෙරහර කමිටුවේ නියෝජ්‍ය ලේකම් අජිත් නාරගල  යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.