නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා රජය, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය සහායෙන් ක්‍රියාත්මක දඹුල්ල – සීගිරිය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරනු ලබන තිරසාර සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතියේ (STSDP) දඹුල්ල – සීගිරිය සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් අද දින (2026.09.20) දඹුල්ල – සීගිරියේ දී නිල වශයෙන් සිදුකෙරිණ.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 30 ක ණය මුදලක් ලබාදී ඇත. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මෙම තිරසාර සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පලාත් සභාව, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දඹුල්ල ප්‍රාදේශීය සභාව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව, ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.
මෙහි මූලික අරමුණ වන්නේ සංචාරක ගමනාන්තවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සංචාරක ක්‍ෂේත්‍රයේ තරගකාරිත්වය වැඩිදියුණු කිරීම, නාගරික සේවා වැඩිදියුණු කිරීම, සංචාරක ගමනාන්ත කළමනාකරණය ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන සංචාරක ගමනාන්ත ඇතිකිරීම, සියලු ජන කණ්ඩායම් සඳහා ප්‍රවේශ විය හැකි සහ ඇතුලත් සංචාරක පරිසරයක් ඇති කිරීමයි.
උපාය මාර්ගික පිහිටීම සහ පවතින විශාල සංචාරක විභවය සැලකිල්ලට ගෙන මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම පලාතේ දඹුල්ල – සීගිරිය සහ නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලය යන ප්‍රධාන ස්ථානයන් දෙක තෝරාගෙන ඇත.
ව්‍යාපෘතියේ පැකේජ 01 යටතේ ප්‍රධාන උප ව්‍යාපෘති 05 ක් ක්‍රියාත්මක කෙරේ. නව ගම්මාන වාහන නැවැත්වීමේ ස්ථානය වැඩිදියුණු කිරීම, සියවස මාවත ප්‍රතිසංස්කරණය, සීගිරි වැව වැඩිදියුණු කිරීම, විදේශීය සංචාරකයින්ගේ වාහන නැවැත්වීමේ ස්ථානය (සීගිරිය) වැඩිදියුණු කිරීම, සීගිරි කෞතුකාගාර පරිශ්‍රය සහ එලිමහන් රංග පීඨය වැඩිදියුණු කිරීම යන එම උප ව්‍යාපෘති මාස දහඅටක කාලයක් තුල නිම කිරීමට සැලසුම් කර ඇති අතර, කොන්ත්‍රාත් වටිනාකම රුපියල් මිලියන 1,206 කි.
එමෙන්ම පැකේජ 02 යටතේ තවත් ප්‍රධාන උප ව්‍යාපෘති 04 ක් ක්‍රියාත්මක කෙරේ. මාපාගල සංරක්‍ෂණ හා සංවර්ධන කටයුතු, පිදුරංගල සංරක්‍ෂණ හා සංවර්ධන කටයුතු, කළු දිය පොකුණ සංරක්‍ෂණ හා සංවර්ධන කටයුතු, උරුමය මාවත (Heritage Trail) රාමකැලේ සිට තල්කොටේ දක්වා කිලෝමීටර් 11 ක් සංවර්ධනය කිරීම සිදුකෙර්. මාස තිහක කොන්ත්‍රාත් කාලයකින් සිදුකරන මෙම උප ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 1,085 ක් වැය කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා :
‘මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයට මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්ම කිරීම කාලීන අවශ්‍යතාවයක්. සීගිරිය කියන්නේ වටිනාකම් සහිත පෞරාණික ස්ථානයක්. අද වනවිට සීගිරිය කේන්ද්‍රගතව සිදුකරන සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට මෙවැනි ව්‍යාපෘති හේතුවෙනවා. අද ආරම්භ කරන තිරසාර සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතියේ අරමුණ සංචාරක ආකර්ශණය වැඩිදියුණු කිරීමත්, විශාල සංචාරක පිරිසක් වැඩි කාල සීමාවක් සීගිරිය ආශ්‍රිතව රඳවා ගැනීමයි. ඒ සඳහා මේ මනරම් ස්ථානයේ ඉහළ පහසුකම් සංවර්ධනය අත්‍යවශ්‍ය වෙනවා.
කර්මාන්තයක් විදියට සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට වගේම මේ ප්‍රදේශයේ ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක්, ආදායම් මාර්ගයක් ලබාගැනීමට හැකියාව උදාවෙනවා. ප්‍රතිලාභ සෑම පාර්ශ්වයකටම ලැබීම අවශ්‍යයි.
දැන් සීගිරිය අතීත උරුමයේ වටිනාකම් එක්ක සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනව. සීගිරිය කලින් කාශ්‍යප රජතුමාට. දැන් සංචාරකයින්ට Focus කරලා තියන්නෙ. මේ ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම අතිශයින්ම වැදගත්. මේ හා බැඳුණු තව ජීවත්වන පිරිසක් ඉන්නවා. ඒ සියලු පාර්ශ්ව ගැන හිතල දැන්ම සැලසුම් නොකලොත් අපේක්ෂිත ප්‍රතිඵල ගන්න නොහැකි වෙයි.
Tourist are the best Ambassador. එමනිසා ක්ෂේත්‍රයේ උන්නතිය Qualityය සහ Discipline රැකගැනීම අවශ්‍ය වෙනවා. එමනිසා නාගරික සංවර්ධන අධිකාරිය, ඇතුළු රාජ්‍ය ආයතන, පලාත් පාලන ආයතනවල මුදල් ප්‍රතිපාදන ලබාගෙන විධිමත්, Sustainable විදියට දියත් කිරීම කලයුතු වෙනවා. අවසාන ඉලක්කය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කල්පවතින ප්‍රතිලාභී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමයි.
