Spread the love

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකෙරුණු අධි බලැති උදුනෙන් ප්‍රථම වරට මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම අද (18) පස්වරු 05.00 සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කිරීමට නියමිතයි.

විවිධ ප්‍රදේශ වලදී අත්තඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය පූර්ණ විනිවිද භාවයෙන් යුතුව විනාශ කිරීමේ අරමුණින් එම උදුන ඉදිකර තිබේ.

එම අවස්ථාවට විනිසුරුවරුන්,අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජිතයන් ,රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ,ඖෂධවේදීන්,මත්ද්‍රව්‍ය නිවාරණ කාර්‍යංශයේ නිලධාරී සහ මාධ්‍යවේදීන් සහභාගි වෙයි.

ඒ අනුව පකිස්තාන ජාතිකයන් 07 දෙනෙකු සමග අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 279 ග්‍රෑම් 590 සහ අයිස් කිලෝග්‍රෑම් 45 ග්‍රෑම් 654ක් එම උදුනෙන් අද විනාශ කිරීමට නියමිතයි.

සෙල්සියස් අංශක 800 ත් 1200 අතර උෂ්ණත්වයකින් මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා ගතවන කාලය පැය 08කි.

එය පැයක් කාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා ගෑස් කිලෝග්‍රෑම් 15 සහ ඩීසල් ලීටර් 04ක් වැය වන බව පොලීසිය පවසයි.

පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ එම අධි බලැති උදුන ඉදිකිරීම සදහා රුපියල් මිලියන 11 අධික මුදලක් වැයකර තිබේ.