Spread the love

විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක් සකස් කර නුදුරු දිනයකදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

විදේශ ගමන්බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමග ඇති කරගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව ‘P’ කාණ්ඩය යටතේ හිස් ගමන්බලපත්‍ර 50,000ක් මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

මෙම ප්‍රමාණයට අමතරව නොවැම්බර් මස අග භාගයේදී තවත් 100,000ක පමණ හිස් ගමන්බලපත්‍ර ප්‍රමාණයක්ද, දෙසැම්බර් මාසයේදී තවත් 150,000ක පමණ හිස් ගමන්බලපත්‍ර ප්‍රමාණයක්ද වන ලෙස 750,000ක හිස් විදෙස් ගමන්බලපත්‍ර තොගයක් ඉදිරියේදී ලැබීමට නියමිතය.

ඊට සමගාමීව තවත් හිස්ගමන් බලපත්‍ර තොගයක් ප්‍රසම්පාදනය කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට දිනකට 1,600ක පමණ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් අයදුම්කරුවන් වෙත නිකුත් කරනු ලබයි.

ඒ අනුව ඉහත තොග ලැබීමත් සමග දෙසැම්බර් මස මුල සිට මෙම ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය කර අයදුම්කරුවන් විසින් ඉල්ලුම් කරනු ලබන ගමන්බලපත්‍ර ප්‍රමාණයට සරිලන ආකාරයට ගමන්බලපත්‍ර නිකුත් කිරීමට හැකිවනු ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.