Spread the love

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.

එම ගැසට් නිවේදනයට අනුව නිරෝගී සතුන් ප්‍රවාහන කිරීම සඳහා අවසර ලබා දී තිබේ.

මෙම සතිය ගතවන විට සූකර උණ රෝගය ව්‍යාප්ත වීම යම් ප්‍රමාණයකින් අවම වී තිබෙ.

ඒ අනුව සත්ත්ව හා පශු සම්පත් කර්මාන්තය රැක ගැනීමේ අරමුණින් පෙර නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනයට ලක් කිරීමට පියවරගත් බව පැවසුවාය.

එම නව සංශෝධිත ගැසට් පත්‍රය පසුගිය 04 වැනිදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වෙයි.

පෙර ගැසට් පත්‍රය අනුව සතුන් ප්‍රවාහන නතර කළ ද, පශු වෛද්‍යවරයෙකුගේ සත්ත්ව සෞඛ්‍ය වාර්තාවක් මගින් තම සතුන් ප්‍රවාහනය කිරීමට නව ගැසට්ටුවෙන් අවසර හිමිකර දී තිබේ.

සතුන් මාංශ කිරීම කළ හැක්කේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලයේ ලියාපදිංචි වු සම්මත ආකාරයට පවත්වාගෙන යන ඝාතකාගාරවල පමණක් බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

මේ අතර අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ පමණක් මුළු සූකර ගහණයෙන් සියයට 50ක් පමණ මේ වනවිට මියගොස් ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.කේ. සරත් මහතා පැවසීය.

මින් වැඩිම සූකර ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මියගොස් ඇති බව වැඩිදුරටත් පැවසීය.