ඇමෙරිකා එක්සත් ජනපදය වෙත භාණ්ඩ අපනයනය කරන ලොව කුඩා රටවල් 150කට ඒකාකාරී තීරු බදු ප්‍රතිශතයක් පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් කරන බව වාර්තා වේ.
පසුගියදා බහරේනයේ ඔටුන්න හිමි සල්මාන් බින් හමාද් අල් ඛලිෆා කුමරුන් ධවල මන්දිරයේදී හමු වූ අවස්ථාවේදී ට්‍රම්ප් මේ බව අනාවරණය කර තිබේ.
මෙම රටවල් සඳහා එකම ලිපියක් යැවීම ට්‍රම්ප්ගේ අදහස වී ඇතැයි වාර්තා පවසයි.
ට්‍රම්ප් මෙහිදී “මේ කණ්ඩායමට අයත් රටවල් සියල්ලටම ලැබෙන්නේ එක සමාන පිළිතුරක්. ඔවුන් ලොකු රටවල් නෙමෙයි. ඔවුන් සතුව එතරම් විශාල ව්‍යාපාර නැහැ. ඒ රටවල් අපිත් එක්ක මේ දක්වා එකඟතාවකට පිවිසුණු රටවල් වගේ නෙමෙයි.” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, ඇමෙරිකාව සමග ගනුදෙනු කරන මෙම රටවල් 150 කවරක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත. ඇතැම් විට මෙම රටවලට පනවන තීරු බද්ද සියයට 10ක ප්‍රතිශතයක් හෝ ඊට සුළු වශයෙන් වැඩි අගයක් විය හැකි බව සඳහන් වේ.
මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගනුදෙනු කරන ලොව සෑම රටක්ම පසුගිය අප්‍රේල් 2 වැනිදා සිට සියයට 10ක මූලික තීරු බද්දකට යටත්ව ඇමෙරිකාවට භාණ්ඩ අපනයනය කරයි. ඊට අමතරව, එක් එක් රටවලට අදාළව අන්‍යෝන්‍ය තීරු බදු පැනවීමක්ද ට්‍රම්ප් විසින් සිදු කර තිබේ. ඒ යටතේ බ්‍රිතාන්‍ය, චීනය, ඉන්දුනීසියාව වැනි රටවල් මේ දක්වා වෙළෙඳ එකඟතාවලට එළඹීමට පියවර ගෙන ඇත.
තවද, ට්‍රම්ප් පසුගිය සතිය වන විට ලොව රටවල් රැසකටම සිය සංශෝධිත තීරු බදු ඇතුළත් ලිපි යවා ඇත. ලබන අගෝස්තු 1 වැනිදා සිට ඒවා බලාත්මක වන බවත්, ඊට පෙර සාකච්ඡා කර මෙම බදු අඩු කර ගැනීමට හැකි වනු ඇති බවත් එම ලිපිවල සඳහන් විය. ඒ අනුව, මේ වන විට ලොව රටවල් රැසක්ම එම සාකච්ඡාවල නිරත වෙමින් සිටී.
