Spread the love


නිමල් රාජපක්ෂ

සම – සභාපතිත්වය විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා

අද දින (04) ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩි මහත්මිය සමග ශ්‍රී ලංකා සහ ඉතාලි දේශපාලන උපදේශන සමාරම්භක සැසිය සාර්ථකව පැවති බවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය. එතුමා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා – ඉතාලි දේශපාලන උපදේශන සමාරම්භක සැසියෙහි සම – සභාපතිත්වය දරමිනි.

මෙම ඉතිහාසමය අවස්ථාවේදී, ශ්‍රී ලංකාව සහ ඉතාලිය දේශපාලන උපදේශන යාන්ත්‍රණය පිහිටුවීම පිණිස අත්සන් කළ අවබෝධතා ගිවිසුම(MoU) වසර හතළිහකට වඩා පවත්නා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරවන වැදගත් පියවරක් විය.

මෙම සාකච්ඡාව අතරතුර, වාණිජ හා ආයෝජන, සංචාරක කටයුතු, අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු, බලශක්තිය, කෘෂිකාර්මික ක්ෂේත්‍ර, ඉතාලි රියදුරු බලපත්‍ර සම්බන්ධ එකඟතාව, ගුවන් ගමන් සේවා, ඉන්දියානු සාගරය සහ මධ්‍යධරණී මුහුදු ප්‍රදේශය තුළ නාවික කටයුතු සම්බන්ධ සහයෝගීතාව, බහුපාර්ශවීය සහයෝගීතාව, සහ පාරම්පරික උරුම සංරක්ෂණය යන විවිධ කටයුතු පිළිබඳ සාකච්ඡා පැවැත්විණි.

මෙය ශ්‍රී ලංකා සහ ඉතාලි හවුල්කාරිත්වය සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කරන, සාර්ථක සාකච්ඡා වටයක් වූ බවට නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.