නිමල් රාජපක්ෂ
56 වැනි සුදු සැරයටි දිනය පසුගිය 15 වැනි දිනට යෙදි තිබු බැවින් එයට සමගාමීව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන “සැරයටි සිතුවිලි 2025” සැමරුම් දින උළෙල අද (18 ) මොරටුව රිවර් ග්‍රීන් හෝටල් පරිශ්‍රයේදී අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
“අඳුරු අවකාශයන්හි විශ්වාසයෙන් ඇවිදයන දිරිය හදවත් වලට ආදරයෙන්” යන්න තේමා කර ගනිමින් පැවැත්වූ මෙම සැමරුම් උළෙල දෘශ්‍යාබාධිත උපාධිධාරීන් සහ දෘශ්‍යාබාධිත උපාධි අපේක්ෂකයන් වෙනුවෙන් පැවැත්විණ.
මෙහිදී දෘශ්‍යාබාධිතයන් සඳහා හෝටල් පරිශ්‍රයක අත්දැකීම් ලබාදීම මෙම සැමරුම උළෙල හෝටලයක් තුළ සංවිධානය කිරීමේ ප්‍රධාන අපේක්ෂාව වූ අතර දෘශ්‍යාබාධීතයන් සඳහා රැකියා වෙළෙඳපලක්, දුරකථන සහ පරිඝණක තාක්ෂණික ගැටළු පිළිබඳ සැසියක්, මනෝ විද්‍යාත්මක ගැටළු විසදීමේ සැසියක් ආදී වැඩසටහන් ගණනාවකින් දිනය පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මැතිතුමා, කොළඹ සිංහ සමාජයේ නිලධාරීන් , දෘශ්‍යාබාධිත පුද්ගලයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.
