Spread the love



නිමල් රාජපක්ෂ
ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 24 ක් වැයකරමින් මෙවර කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ වයඹ පලාතේ කුරුණෑගල හා පුත්තලම් දිස්ත්‍රික්කයන්හි විශිෂ්ටයන් 240 දෙනෙකු සදහා රුපියල් ලක්ෂය බැගින් දිරි දීමනාවක් හා සහතික පත් ප්‍රදානය කිරීම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා මෙහි පිළිගැනීමේ සහ අරමුණ පැහැදිළි කිරිමේ කථාව පැවැත්වුයේය.

මෙහිදී සිසු දරුවන් ඇමතු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ රටට අවශ්‍ය පෞරුෂත්වයෙන් යුත් නායකත්වය ගොඩනැගීමේදී සිසු දරුවන් ඇගයීම ඉතා වැදගත් කාර්යයක් බවත් ඒ වෙනුවෙන් ජනාධිපති අරමුදල ක්‍රියාත්මක කර ඇති මෙම වැඩසටහන අතිශයින් පැසසිය යුත්තක් බවත්ය.

රටේ අනාගත පරපුර වෙනුවෙන් ජීවත් වීමට සුදුසු රටක් නිර්මාණය කර දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කැපවී සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා රටේ දරු පරපුර මත් උවදුරින් බේරා ගැනීම වෙනුවෙන් රටම එක් කර ගනිමින් දැවැන්ත ජාතික මෙහෙයුමක් මෙම 30 වනදා ආරම්භ කරන බවද සඳහන් කළේය.

එමෙන්ම කිසිදු දරුවෙකු අත් නොහැර සෑම දරුවෙකුගේම සමාජ සුරක්ෂාව වෙනුවෙන් රජය පෙනී සිටින බව මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා අධි අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරුවන් 17,000ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන් ඇතුළුව සියලු මට්ටම්වල දරුවන් අධීක්ෂණය කරමින් සිටින බවත් පැවසීය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාද මෙහිදි සිසු දරුවන් ඇමතු අතර එදා ජනතාවට ළඟා විය නොහැකිව තිබු, වරප්‍රසාදලාභී පිරිසක් පමණක් ප්‍රතිලාභ ලැබූ ජනාධිපති අරමුදල වත්මන් රජය යටතේ ජනතාවට සමීප සහ ජනතාවගේ ආයතනයක් බවට පත්ව ඇති බව ඒ මහතා සඳහන් කළේය.

තමන්ට ජයග්‍රහණය කළ නොහැකි වු ලෝකය තම දරුවන්ට දිනා දීමේ සිහිනය මේ රටේ සියලු මව්පියන් තුළ ඇති බවත් එම සිහින මල්ඵල ගැන්වීම වෙනුවෙන් සිදු කළ හැකි සෑම මැදිහත්වීමක්ම සිදු කිරීමට රජය කැපවි සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය දිසානායක, විජේසිරි බස්නායක, ජගත් ගුණවර්ධන යන මහත්වරු සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහු සහ ශිෂ්‍යත්වලාභී දරුවන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.