නිමල් රාජපක්ෂ
ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ කළමනාකරණය කිරීම ප්‍රවර්ධනය කිරීම හා ව්‍යවසායකයින් දිරිමත්කිරීම අරමුණු කරගනිමින් “PLASTICS” ව්‍යාපෘතිය යටතේ සංවිධානය කළ ගැනුම්කරු – විකුණුම්කරු සංසදයක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11 දා) බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේදී පැවැත්විනි.
කර්මාන්ත සේවා කාර්යාංශය (Industry Service Bureau), Acted Sri Lanka, Biodiversity Sri Lanka, Stenum Asia හා TeRi ආයතනවල සහයෝගීතාවයෙන් සංවිධානය කළ මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය සහයෝගිතාව යුරෝපා සංගමය දරනු ලබයි. මෙම “PLASTICS” ව්‍යාපෘතිය බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් 2022 වසරේදී ආරම්භ කරන ලද වසර හතරක ව්‍යාපෘතියක් වෙයි.
මෙම “PLASTICS ” ව්‍යාපෘතියේ අරමුණු අතර ප්ලාස්ටික් වටිනාකම් දාමය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා වෙළඳපළ අවස්ථා පුළුල් කිරීම, දැනුම හුවමාරුව සඳහා පහසුකම් සැලසීම, හොඳම භාවිතයන් හඳුන්වා දීම, පාරිසරික දැනුවත්භාවය ඉහළ නැංවීම සහ තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම, චක්‍රීය ආර්ථික විසඳුම් සෙවීම, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම, ප්‍රතිපත්ති සම්පාදනය යන අරමුණු වැදගත් වෙයි
මෙහිදී අදහස් දක්වමින් තිරසාර සංවර්ධනයේදී කර්මාන්තකරණය හා පාරිසරික සුරක්ෂිතභාවය එක්ව ගමන් කළ යුතු බව අවධාරණය කළ සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා, පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අධෛර්ය්යමත් කිරීම හා සමගාමීව ඒ සඳහා විකල්ප විසඳුම් ලබා දීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය. මේ දිනවල ප්‍රධාන ගැටළුවක් බවට පත්ව ඇති සිලිසිලි බෑග් භාවිතය අවම කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය හා පරිසර අමාත්‍යංශය කර්මාන්තකරුවන් සමග එක්ව ස්ථීර විකල්ප විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වන බව පැවසූ හඳුන්නෙත්ති අමාත්‍යවරයා පාසල් මට්ටමින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා උත්ප්‍රේරක ක්‍රියාදාමයක් ඇති කිරීමේ වැදගත්කමද පෙන්වා දෙන ලදී.
