Spread the love

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවතින අධික වර්ෂාව සහ තද සුළං සමගින් ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම වේගයෙන් ඉහළ ගොස් තිබේ.

ප්‍රදේශ ගණනාවකට ගංවතුර අවදානමක් පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අද (28) අලුයම නිකුත් කරන ලද ගංගා ජල මට්ටම පිළිබඳ වාර්තාව  මෙසේයි

එහි දැක්වෙන පරිදි රට පුරා නිල නිරීක්ෂණ මධ්‍යස්ථාන කිහිපයකින් මේ වන විට සුළු ගංවතුර මට්ටම්වල සිට ප්‍රධාන ගංවතුර මට්ටම් දක්වා ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.

අදාල වාර්තාවට අනුව කැලණි ගඟ, මැණික් ගඟ, මහවැලි, මල්වතු ඔය, දැදුරු ඔය සහ මහ ඔය ඇතුළු ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාම නිසා දැවැන්ත ගංවතුර තත්වයක් ඇති කළ හැකියි.

කැළණි ගංඟා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා.

ඉදිරි පැය 48 ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කැළණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

පවතින වර්ෂා තත්ත්වය ද, කැළණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශවලින් පිටකරනු ලබන ජල ප්‍රමාණය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගංඟා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙම අනතුරු ඇඟවීම කර තිබෙනවා.

මෙම ගංගා ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තර්ජනයක් පවතින බැවින් ප්‍රදේශවාසීන් විමසිල්ලෙන් සිටිය යුතු අතර, අවශ්‍ය නම් ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසට බලධාරීහු තරයේ ඉල්ලා සිටිනවා.

සියලුම පදිංචිකරුවන් ආපදා කළමනාකරණ නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් දැඩි ලෙස අනුගමනය කළ යුතු අතර රියදුරන්ට ගංවතුර තර්ජන ඇති මාර්ග මඟහැරීමටත් සහ අතිශය ප්‍රවේශමෙන් රිය පැදවීමටත් බලධාරීන්  උපදෙස් දෙනවා.

මේ පිළිබඳ වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආපදා කළමනාකරණ අංශවලින් ඉල්ලා සිටිනවා.