Spread the love

දේවින්ද පිණිදිය

විදේශගතව රැකියාවේ නිරතව සිටින ශ්‍රී ලාංකිකයින් හා වෙනත් හේතූන්මත විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මේ වන විට රට මුහුණපා ඇති ආපදා තත්ත්වය යටතේ ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ සිටින පවුල් සමග සම්බන්ධ වී සහන සැලසීමට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය මගින් හදිසි ආපදා ප්‍රතිචාර ඒකකයක් පිහිටුවා තිබේ.

අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මත මෙම ඒකකය පිහිටුවා ඇති අතර විගමනික ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් වහාම සහන සැලසිමටද අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබා දි තිබේ.

මේ  අතර හදිසී මානූෂිය ආධාර සැපයීමේ දී ප්‍රායෝගික අපහසුතාවක් ඇති බැවින් මේ වන විට කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතව සිටින ශ්‍රමිකයින්ගේ පවුල් සඳහා එක් පවුලකට රු 15,000.00 ක් දක්වා, විගමණික ශ්‍රමික පවුලේ අභිමතය පරිදි ප්‍රදේශයේ වෙළඳසැලකින් භාණ්ඩ මිලදි ගැනිමට ප්‍රතිපාදන වෙන්කොට ඇති බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සදහන් කරයි. මේ සදහා චක්‍ර ලේඛනයක්ද නිකුත් කොට ඇත.

ආපදා තත්ත්වය හේතුවෙන් සිදුව ඇති හානි පූර්ණය කිරීමේ ආධාර වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ. ඒ අනුව  උපරිමය රු50,000 දක්වා හානි පූර්ණ ආධාර ඒ යටතේ විගමනික ශ්‍රමික පවුල් වෙත ලබා දීම සිදුකෙරේ.

  • ඒ අනුව  මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයේ සඳහන් කොන්දේසි ප්‍රකාරව හානි සිදුවි ඇති අදාල විගමනික ශ්‍රමික පවුලේ තොරතුරු රැස්කර කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සමාජ සංවර්ධන) වෙත පළාත් ජ්‍යෙෂ්ඨ කළමණාකරු මගින් ඉදිරිපත් කළ යුතුය.
  •  
  • ආපදා තත්ත්වය මත විගමණික ශ්‍රමික දරුවන් සඳහා පාසැල් පොත් ලබා දීමේ වැඩසටහනක්ද මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.වර්තමාන ආපදා තත්ත්වය හේතුවෙන් පාසැල් පොත් හා උපකරණ අවශ්‍ය දූ දරුවන් සඳහා ඒක් දරුවෙකුට රු.10,000.00 බැගින් උපරිමයකට යටත්ව ද්‍රව්‍යමය ආධාර ලබා දීම ඒ යටතේ සිදු කෙරේ.

එමෙන්ම, ආපදා තත්ත්වය මත ක්ෂණික ප්‍රතිචාර දැක්වීම වශයෙන් විගමනික ශ්‍රමික පවුලක් වෙනුවෙන් ඖෂධ මිලදිගැනිමට රු 7000.00ක උපරිමයකට යටත්ව ආධාර ලබාදිමට ද කාර්යාංශය පියවර ගෙන ඇත.

ආපදාවට ලක්වී සිටින විදේශ ගතව සිටින ශ්‍රමිකයින් තම තොරතුරු කාර්යාංශයේ 1989 දුරකථන ඇමතුම් අංකයට හෝ +94 719802822 වට්ස් ඇප් අංකයට ලබාදීමේ පහසුකම් සලසා තිබේ.