Spread the love


නිමල් රාජපක්ෂ

පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි හානියට පත් උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් හෙට (19) සිට ස්ථාන කිහිපයකින් උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබීමට සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කලේ බත්තරමුල්ල, කොස්වත්ත ‘මගනැගුම මහමැදුර’ පිහිටි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී ජනතාව දැනුම්වත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුව අමතමිනි.

ඒ අනුව හෙට (19) සිට මහව – අනුරාධපුර මාර්ග කොටස තාවකාලිකව වසා තැබෙන අතර ‍මේ මස 26 දා සිට මහව – ඕමන්ත දුම්රිය මාර්ග කොටස සම්පූර්ණයෙන් වසා තැබේ. එමෙන් ම 2026.01.19 වන දින සිට මැදවච්චිය – තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ ද ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වේ.

මහව – ඕමන්ත දක්වා වන දුම්රිය මාර්ගයේ දුම්රිය පාලම් පහක් නැවත ප්‍රතිස්ථාපනය කිරීමටත් වන අලි ගමන් කිරීම සඳහා ඉදිකල උමං මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මීට සමගාමීව සිදුකිරීමටත් නියමිතය.