දේවින්ද පිණිදිය
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 ජනවාරි මස 20 වැනි දින රාත්‍රී කාලයේ, යාපනය කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
විදේශීය ධීවර යාත්‍රා ජාත්‍යන්තර මුහුදු සීමා නීති උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන්, සමුද්‍රීය පරිසරය වෙත සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය වෙත සිදුවන අහිතකර බලපෑම වැලැක්වීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර, එමඟින් මෙරට සමුද්‍රීය පරිසර පද්ධති සුරැකීම හා දේශීය ධීවර ප්‍රජාවගේ ආර්ථික හා සමාජ සුරක්ෂිතතාවය වෙනුවෙන් වූ සාමූහික හා ශක්තිමත් ප්‍රවේශය මෙන්ම, ස්ථිර කැපවීමද අවධාරණය කරනු ලබයි..
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
